skip to main | skip to sidebar

මායාවී

Dreamer of Hallucination | මායාවේ සිහිනය දකින්නිය

Tuesday, September 25, 2012

When You Say Nothing At All


සුදු පැහැති  පිඟන් ගඩොල් මතින් කුරුළු ගමනක පැමිණි මම,  ඔහු පිටුපසට වී බලා උන්නෙමි. හේ කවදත් නිශාචර ජීවියෙකි. රැය උදාවීමමෙන්ම  ගෙවි යාම ද සිදුවන්නේ ඔහු නොදැනම බව නිශාචරයාගේ පියඹ වන්නත් බොහෝ කලක සිටන්ම මා දැන උන්නෙමි.

පොතක් හෝ පරිගණකයක් අසල සිටින විට තමා හා වටපිටාව අමතක වන තරමටම උමතුවන හේ  ඉන් පරිබාහිරව ගැඹුරු දියක් මෙන් නිහඬ නිසංසල වීය. ප්‍රේමයේ සුපසන් හැඟුම් අද්දරත් ගොලුබසින් කතාකල හෙතෙම  ජීවිතයේ අන්තිම පතුලටම කියාදුන් බව මා කෙසේ අමතක  කරන්නද?

රහසින් බලා සිටීම, මට කෙසේවුවද ඉඳුරන්ට තවත් කල නොහැකිව තිබුනි.  ඉඳින්,  හීනි දිඟු අතැඟිලි ඒ කළුවන් කෙටි කෙස් අතරේ ගෙන ගියෙමි. නැත  ඒ ස්පර්ශය  ඔහුගේ දැහැන බිඳින්නට තරම් ප්‍රාණවත් නොවේ.. දෑඟිලි ඔහුගේ ගෙල මුලට ගෙන ගොස් එලෙසින්ම පහත් වී කෙටි රුවුල් කොට වලින් ගොරෝසු වු කම්මුල මත්තේ කම්මුලක් තමා ගතිමි.. ආදරයක ආශ්චර්‍යය!! එක අතකින් පොත රඳවාගෙන අනෙක් අත මාගේ කෙහෙරැලි අතරට ගෙන යන්නට  තත්පර කිහිපයක පමාවක් පමණක්ම සිදුවිය.

උගුර සිරවී හැඬුම් එන්නට ඔන්න මෙන්න තිබියදී  ක්ෂනික ඉරියව් වෙනසකට නතුව  මාගේ දෙතොල් ඒ තොල් පෙති අතරේ සිරගතව තිබුනි!!

ආදරය මේ දැයි සිතා අසා සිටියෙමි........................



The smile on your face
Lets me know
That you need me
There's a truth
In your eyes
Saying you'll never leave me
The touch of your hand says
You'll catch me
Whenever I fall
You say it best
When you say
Nothing at all


මුවින් නොදෙඩුවද.. ඔහු  සැබැවින්ම කතාසරිත් සාගරයක් බව, සිතුවිලි වලට ඒත්තු ගන්වමින්.. පොත යලිදු ඔහුටම දී.. ඒ අඩවන් දෙනෙත් දෙසම බලා ඉන්නට සුදු පැහැ ටයිල් පොළවේ ඔහු අසලින් වාඩි උනෙමි! 

at 8:24 AM 4 comments
Labels: පරිකල්පන

Saturday, September 22, 2012

මන:කල්පිත හිතවතිය - Imagery confidante


නිරතුරුව ඇය මා අසලින් සිටියාය. මා මුල්වරට දෙපයින් සිටගනිද්දී ඇය මා හට වාරුවක්වන්නට ඇතැයි පසුකාලීනව සිදුවූ  බොහෝ සිදුවීම් ඇසුරෙන් මා නිගමනය කලෙමි.  නිවසේදී සහ පාසලේදී මා ගතකල ජීවිතය හුදෙකලා එක්ක බවට අසල්වාසීන් මෙන්ම ගුරුවරුන්ද චෝදනා කාලහ. නමුත් එවැනි හුදෙකලාවත් මගේ ජීවිතයේ නොවුනි . පාසලේ නියමිත ගෙදරවැඩ සඳහා ඇයගෙන් මට නොමසුරු සහයෝගයක් ලැබුනි, එනිසා කිසිවෙකුගේ උදව් ඉල්ලීමක් කිසිදිනෙක නොකලෙමි.

සති අන්තයේදී අසල්වැසි නිවසක පියානෝ වාදනය ඉගැනුම සඳහා ගිය විට නිරතුරුව පියානෝව අසල රෑඳෙමින් ඇය මා අගය කලාය, මා පියානෝ වාදනය උගැනුම දෙමාපියන්ගේ කැමැත්ත වුවද මා ප්‍රිය කල එකම වාද්‍ය භාන්ඩය බටනනලාවයි. ඇය එය හොඳින් දැන උන්නාය, එසේ වීත් පියානෝ වාදයනය උගැන්මට ඈ මා දිරිමත් කලාය. විවේකී සන්ධ්‍යා කාලයන්හීදි මිටියාවත කෙලවරකට වී සාම්ප්‍රධායික තනු  බටනලාවෙන් වැයීම සඳහා ඇය මට උදව් කලාය. කිසිදු පෙර ඉගැනුමකින් තොරව මා මෙසේ වාදනය කරන බැව් දානගත් මාගේ දෙමාපියන් මෙන්ම සංගීත ගුරුවරියත් බෙහෙවින් පුදුම වූවෝය.

ගැහැණු ශරීරයේ ද්වීතීක ලක්ෂන මතුවන කාලය වන විට ඇය මා අසල ගැවසීම සිතට ලජ්ජාවක් ගෙන දෙන කරුණක් විය, නමුත් මා ද්වීතීක විපර්යාසයට පත්වන විටත් ඇය එහි අවසන් භාගයේ උන්නායැයි මා අනුමාන කලෙමි. එය අනුමානයක් පමණක්මදැයි මොහොකතට අදටත් සිතමි.

හුදෙකලා  යැයි අන්අය සිතුවත්. පාසැලේදී මා හට බොහෝ මිතුරන් විය ඒ අතරින් වඩාත් කලා කාමීව මා සිත අරක් ගත් තැනැත්තා  සිදත්ය. කළුවන් කෙස්වලින් සහ දුඹුරු පැහැ දෙනෙතින්  යුතු ඔහු ද මා මෙන්ම හුදෙකලාකාමියෙකි. ෆයිනස් යාය අසබඩ ලීබංකුව මතට වී ඇයත් සමඟ  විවේක කාලය ගත කරද්දී බොහෝ විට යාබද බංකුවේ වාඩි සිටියේ සිදත්ය.

ඇයත් මමත් නිරතුරුව කතාකල මාතෘකා අතර සිදත් බෝ විට සැරි සරුවේය. බොහෝමයක් අවස්තාවල අපගේ කතාබහ අවසාන වූයේ වාදයකිනි. සිදත් විශයෙහි ඇයත් මමත් එකිනෙකට වෙනස් මත දැරීම අප දෙනොගේ මිතුරු දමේ පළමු නොගැලපීම විය.ඊට පෙර ඇය සිතුවේත් මා සිතූ දෙයම බව මම හොඳින් දන්නනෙමි.  ඔහු කඩවසම් යැයි  මා කියද්දී වැදුලි සැරට හසූවි අඟුරු වුනු වදුරකුට ඔහුව සම කල ඇය සමච්චල් සහගත ලෙස සිනා සුනාය. මම බොහෝ සෙයින් ප්‍රිය කල ඔහුගේ දුඹුරුවන් ඇස් ඇයට බළල් ඇස් පමණක්ම විය. ඇය සමච්චලයට ලක් නොකල එකම දෙය ඔහුගේ නිහතමානි අවංක ගති පැවතුම් පමණකි.

ඇයත් මමත් සිතුවිලි වලින් අදහස් බෙදාගනිද්දී සිදත් මා සමග දෙනෙතින් බොහෝ දේ කතා කලේය. ඒ කතාබහේ රසවත් යාමය එළඹෙන විට මම ඇයගෙන් බොහෝ දුර ගිය සෙයක් මටද හැඟුණු. නමුත්  සිදත් වටාවූ ලෝකය තුල මට සිතන්නට බොහෝ දේවල් තිබුණි.  ඇය අතොරක් නැතිව චොදනා කලාය. මා හැර යන බවට දිවුරුවාය. නමුත් සිදත් ජීවිතයට වද්දා ගත්තා යනු ඇයව ජීවිතයෙන් එලවා දැමීම නොවන බව ඇයට තේරුම් කර දුන්නෙමි. ඇය තේරුම් ගත්තා දැයි අදටත් මම නොදන්නෙමි. මා නොදැනුවත්ව උවද ඒ ගත් සියලු උත්සයන් ව්‍යර්ත වු බව එකල මා නොදැන උන්නෙමි. ඇය මා කෙරේ නිතර පසු වුයේ අමනාපයෙනි.

කාලය ගෙවී හැල්මේ දිව ගියෙන් පාසැල් ඉගෙනුම අවසන් වී රැකියාවක් කරන කාලය එලඹෙන විට ඇය මා අසල ගැවසෙන කාලය අඩු කලාය. ඇය කොයිදැයි බොහෝ වේලාවක් යන තුරුත් ඇගේ මිමිනීම නොඇසින. ඇය කොහේ යනවාදැයි විමසූ නමුත් කිසි විටෙක පිළිතුරු නොදුන් ඇය ආවේග ශීලි මොහොතක,”මාත් ජීවියක් ඉල්ලන කෙනෙක් හෙයාගන්න ඔනි....” යන්න පමනක් කීවාය.  ඒ අනූව සිදත් හා මා කෙරෙහි ඇය ඊර්ශයාවෙන් පසුවන බව මා අනුමාන කලෙමි.  ඇය දිගින් දිගටම මා මග හැරීමට උත්සහ කලාය. අඩුම තරමේ සිදත්ගේත් මගේත් විවාහ මංගල්‍යයට පල්ලියට පවා ඇය ආවේ නැත. මධුසමය අවසානයේ මා පැමිනෙන විටත් ඇය ගැන තොර තුරක් නොමැති විය. නමුත් මධුසමය අතරතුරේදි බොහෝ වර ඇය අසල ගැවසේ යැයි හැඟිමකින් මා දෙතුන් වර ඇවිලි ගියෙමි! මා ඇයට අසාධාරණයක් කලා යැයි මා සිත මට දොස් කියන්නට විය!

සිදත් හා මම ගෙවූ සුන්දර විවාහ දිවිය තුල  ඇය වෙනුවෙන් වේලාවක් වෙන් කරන්නට කොහෙත්ම ඉඩක් නොලැබිනි. ඇය ගැන සිතන්නට ලැබුනු  . ඒ පිළිබඳ වරදකාරී  හැඟිමකින් වරෙක මා පරාජිත උනෙමි. ඇයට මුහුන දිමේ අපහසුතාවය නිසාම ඇය සමඟ මිමිනිමේ පුරුද්ද විවාහයෙන් පසු ඉබේම නැති වී ගියේය. නමුත් දිනක් ඇයම මා කරා පැමිණ දයාබර ලෙස මිමිනුවාය.

“මායා.. මම යනවා.. දැන් මට යන්න පුළුවන්... මේ දවස එනකල් මම ගොඩක් ආහාවෙන් බලාගෙන හිටියේ.. ඔයාට නොකියා යන්න බැරී නිසයි  ආයිත් ආවේ කියලා යන්න...මම ඉක්මනින්ම ආපහු ඔයාගේ ලඟටම එනවා.....”

“ම... මට සමාවෙන්න.....” ඒ හැර අන් කිසිවක් කියාගත කොහැකිව මා ගල් ගැසී  උන්නෙමි..

“මොනවට සමාව ඉල්ලනවාද ඔයා වරදක් කරන්නේ නැහැ මායා.. ඔයා මට කරන්නේ ලොකුම උදව්වක්.. මේකෙන් මට අළුත්  ජීවිතයක් ලැබෙනවා.. ඔයා දාලා යන්න බැරව තැවි තැවී උන්න මට.. ඔයා වෙනුවෙන්, ඔයාලා දෙන්නාගේ සතුට වෙනුවෙන්,  අළුත් කෙනක් වෙන්න ලැබෙනවා.... සතුටින් ඉන්න.. මායා.. තව පොඩි කාලයයි.. මම ආයිමත් ඔයාගේ ලඟටම එන්න පොරාන්දු වෙනවා...”

එලෙස සැනසුම් බස් කියා ඇය අතුරුදහන් වූවාය. දිනය පුරාවට සයනයයෙන් නැගිට ගත කොහැති තරමේ කායික පීඩාවකින් මා පෙළුනෙමි. දින කිහිපයක් යන තුරුත් එම තත්වය මඟ නොහැරුනෙන්  සිදත් බොහෝ සෙයින් කලබල වී මාගේ විරෝධයද නොතකා මා වෛද්‍යවරයෙකු කරා ගෙන ගියේය.

“වැඩ්ය කල බල  වෙන්න දෙයක් නැහැ මිස්ටර් සිදත්.. ඔයා තාත්තා කෙනක් වෙන්න යන්නේ... මායාව හොඳින් බලා ගන්න.. MY congratulations!! ” වෛද්‍ය වරයාගේ වදන් හමුවේ සිදත්ගේත් මගේත් දෙනෙත් හමුවිය ඒ  තද දුඹුරු පැහැ දෙනත් ප්‍රීතියෙන් බැබලෙමින් තිබුනි. අපි දෙමාපියන් වන්නට යන්නේය. එය අපගේ කතාවේ සුන්දරම පරිච්ඡේදයක ආරම්භය වනු ඇත.  සමුගත් ඇය මේ මොහොතේ උන්නානම් අප දෙදෙනා මෙන්ම සතුටු වනු  ඇත. කුඩාකල බෝනික්කන් සමග සෙල්ලම් කරද්දී හැබැහින් මව්වරුන් වන දිනයක් ගැන අප දෙදෙනාම සිහින මැව්වෙමු. මගේ කිරි කැටියා මට අම්මා කියන විට ඇයට මමා කිවයුතු යැයි අය නීති පනවා සිටියාය.

මාතෘත්වය අපේක්ෂිත සමයේ ඇය නැති අඩුව මට බොහෝ සෙයින් දැනුනි. නිරතුරුව මනසින් යමෙකු හා කතාකර පුරුදු වූ මට මෙම නවමු අත්දෑකීම බෙදා හදා ගැන්මට කිසිවෙකු නොවීම සැබැවින්ම වේදනාවක් විය. ඉඳින් නිතැනින්ම මාගේ කස තුල වූ කලලය හා දොඩන්නට මා උත්සහ කලෙමි. එහෙත් ඇය තරම් දොඩමලු වන්නට කුඩා කලලයට හැකියාවක් නොවීය.

කලලය කුඩා ප්‍රාණියෙකු ලෙස  කල එලි දක්නා මොහොත ඉතාමත් වේදනාකාරී වුවත් සිදත් මා අසලින් නොසෙල්වීම මා  ලැබූ අපරිමිත ශක්තියක් විය. අර්ධ සිහිමුර්ජාවෙන් ගතකල කාලය තුල නෑඹුල් කිරිකැටියා මවෙතින් කිරි උරාබොනු සියුම් වේදනාවක් ලෙසත්, සිදත්ගේ දිඟු අතැඟිලි නළල් තලය පිරිමඳින පහස ආදරණිය සිප ගැන්මක් ලෙසත් දැනුණි. එම දීර්ඝ නින්දෙන් මා අවදි වන විට මාගේ දෙමාපියන් මෙන්ම සිදත්ගේ නෑදැයන් බොහෝ දෙනක් මාත් කිරිකැටියාත් වට කොටගෙන උන්හ. ඔවුන්ගේ අවදානය මට වඩා යොමුව තිබුනේ ඇඳ පාමුල තොටිල්ලේ සුව නින්දක උන් බිළිඳා දෙසටය. මටත් ඔහු හෝ ඇය දැකීමේ උමතු ආශාවක් ඇතිවිය. අපහසුවෙන්  කොන්ද කෙලින් කරන්නට උත්සහ කරද්දී සිදත් මා වාරු කර ගත්තේය...

“ඔහ්!!! ... මායා.... මේ බලන්න ඔයාට ලස්සන දුවෙක් ඉපදිලා... මෙයා හරියටම... ඔයා එක්කම ඉපදිලා... අපිව දාලා ගිය ඔයාගේ නිවුන් අක්කා වගේමයි.....මට අදහගන්න බැහැ මායා.. එදා එයාව මගෙන් අරන් යද්දිත් හිටියේ මේ වගේමයි.. එකම වෙනස එයා අද ජීවතුන් අතර ඉන්නවා...”

සිඟිති දියනිය මා අතට දෙමින් මාගේ  මව විශ්මයෙන් යුතුව කැ ගැවාය....මම දියනිය තුරුලට ගෙන ඇයගේ මුහුණට එබුනෙමි... අදහාගත නොහැකි විය.. මේ උන්නේ මා සමඟ මෙතුවක් ජීවත් වු ඇයමය! 
at 11:42 PM 12 comments
Labels: පරිකල්පන

Tuesday, August 21, 2012

සිත්තරා මත් කලෙමි!


කලාකරුවන් විටෙක මහවරුසාවක් වැනියැයි  කුඩාකල සිටන් මා විශ්වාස කලෙමි.  නමුදු ඒම විශ්වාසය ඔහු එක ක්ෂනයකින් බොඳ කලේය.  නොදැනෙන්නට වියලි බිම් තෙත් කරන මන්දාරම් පොඳ වැස්සක් ලෙසින් ඔහු නිහඬ කෙනෙකු විය.

සෞන්දර්‍ය නිකේතනෙය් උද්‍යානය පුරා කිංකිණි හඬ නංවන යුවතියන් අතරින් වුවද ඔහු පැමිණියේ විශ්වයම හිස මතා තබාගෙන සිටින්නකු  මෙන්ම මහත් වු කල්පනාවකිනි.  ඔහු සිත්තරෙකි,  එපමනක් විශ්වාස කරමි. ඔහු නවක ගුරුවරයෙකු බව සිතා මතා අමතක කරමි. අවසන් වසරේ සිසුවියන්  වුවද තවමත් සිඟිත්තියන් මෙන්  විවේක කාලය පුරාවට  බොගන්විලා පඳුරු අස්සේ සිටන් කැකෝ ගසමින් සමනලියන් මෙන් සැරිසරන අප, ඔහුගේ නිසසල විවේකයට බාධාවක් වන්නට ඇත. සිත් මතාම උවමනාවට වඩා කෑගැසීමි. සිනාසුනෙමි. මොහොතකට ඔහුගේ අවධානය කැන්වස් රෙද්දනේ මුදවාගැනිමේ ගැහැණු ආශාවකින් මා පෙළුනෙමි. සැබෑවනම්. ඔහු පැමිණ දින දෙකට මාගේ දෙනත් බොහෝ දුරකට ඔහු පසුපස දිව ගසේ ඇත.

කෙතරම් සිනා හඩ උස් කලද ඔහුගේ වැඩයට අප බාධාවක් නොවුනි. එනිසාම  ඔහුට බාධාකිරීමේ උවමනාව දැඩිවින. සියලු දඟකාරකම් නවතා මොහොතක් ඔහු දෙසම එක එල්ලේ බාල උනිමි. අරුමයකි. ඔහු හැරී බැලුවේය. දඟාකාරකම නෙතු තවරා බලා උන් බැල්මට එක්වර ඇස් අහක ගන්නට අපොහොසත් උනෙමි. සැනෙකින් ඒ දැසෙහි රුඳුනේ උපහාසාත්මන සිනහවකි. සැබැවින්ම ජයග්‍රහණය ඔන්න මෙන්න තිබියදි එකම බැල්මකින් ඔහු මා අන්ත පරාජයකට ඇද දැමුවේය.

සිතන්නට මොහොතක් ඉඩ නොතබා පන්තිකාමරය වෙත පිම්මේ දිව ගියෙමි.

**~~~**

“උඹ මාර මනුස්යෙක්නේ....... නෑ නෑ කතා කරන්න ඔනි නැහැ...ආයේ ඒ ගැන හිතන්න ඔනෙත් නැහැ.. උඹ අද හවස් වෙද්දි ආවේ නැතිනම්  අපි දෙන්නාගේ යාළුකම් ඉවරයි... පාරක දැක්කට මුණ බලන්නේ නැ මම.. උඹ දන්නවානේ මගේ හැටි.....”

උදෑසනින්ම ලොකු අයියා දුරකනතය ඔස්සේ නෝක්කාඩු කියයි. ඒ ඔහුගේ මිතුරෙකුට විය හැක.. නෑසුකන්ව පඩිපෙල බැස වැලි පාර දිගේ කලායතනය දෙසට ඇදුනෙමි.මිතුරියන් පැමිනෙන්නට බොහෝ වෙලා ඇති නමුත් කලායතනය ආසන්නයේම සිටින මා නිරතුරුවම වේලාසනින් කලායතනයට යන්නෙමි. නිවසේ සිටින වේලාවන්ට වඩා මා කාලය ගත කනරනේ කතායතනයේ බව අම්මාගේ සුපුරුදු නොක්කාඩුවකි.
බොගන්විලා පඳුරු අතරින් ගේට්ටුව දෙසට දෑස් දිව යන්නට ඇත්තේ කීවැනි වතාවටදැයි නොදනිමි. ඒ දැස සොයන්නේ සුපුරුදු ලෙස මිතුරියන් නොවන බව සක්සුදක්සේ දනිමි. එහෙත් දේශන පටන්ගන්නාතුරුත් ඒ පිරිමි රුව ගේට්ටුව දෙසින් මතුනොවිනි. ඇතැමිවිට  අද සති අන්තයේ දිනක් නිසා විනැයි සිතා ඉවසුවෙමි.

වෙනදා කෙලිලොල් බව  මා  කෙරෙන් වියැකි ඇති බවට මිතුරියන් චෝදනා කලහ.  ඒ සියලු චෝදනා වියලි සිනහවකින් ඉවසුවෙමි. වෙනදා නැති ඉක්මනකින් ගෙදර දුවන්නට සිතුනි. එහෙත් ලි පාරේ ඇවිදින විට මට හොරන් මගේම වේගය බාලවී ඇත. කලායතනයට දඟකාරිය නමුත් නිවසට මම හා පැටියෙකු තරමට අවිහිංසකාවියක් වුනෙමි. විටෙක ඒ දෙබිඩි බව සිත රිදවුවද නිවසේදි දඟකාරකම් කරන්නට තරම් හේතුවක් හෝ කෙනෙකු මා අසල නොවීය.

විවාහවු අයියාත්  දරුදෙදෙනෙකුගෙන් යුත් ඔහුගේ  සුන්දර පවුලත්, පින් දහමට ලැදිව ජීවත් වන  වියපත් අම්මාත් සමඟ ගෙවන දිවියේ මා හුදෙකලා ප්‍රාණියෙක් පමණක්ම විය. කුඩාවුන්ට සිත බැඳි තිබුනද නැනණ්ඩියගේ ගුප්ත චරිත විලාශයන් අභිමුව දරුවන්ට සමීපවන්නට නොකැමතිවීමි. එනිසා නිවෙස මට අම්බලමක් පමණක්ම විය.
නමුත් අද සිනව වෙත දුවන්නට සිත මෙතරම් බලකරන්නේ මන්ද. යලි උපන් දගකාරිය මතින් වේගයෙන් ගල්පඩිපේලිය ගැන ගියෙමි.

“පොඩි නංගී.............”  පසෙක වු සමන්පිච්ච ආරුක්කුව යට ලී බංකුව දෙසින් අයියාගේ හඬ ඇසුනි. 

එදෙසට විමසිලිමත් දෑස යොමද්දී දෙනෙත් විසල් වු වේගයෙන්ම ගතද දහදියෙන් තෙමී ගියේය.. දෙවියනි අදහන්නේ නම් කෙලෙසකද.. අයියා සමඟ බංකුවේ පසෙක වාඩි වී උන්නේ ඔහුයි!

“මේ  මාධව... මගේ  කැමපස් එකේ යාළුවෙක්.  ඔයාලාගේ කාලායතනෙට අළුතින් පත්වීමක් අරන් ඇවිත්..”

මා දනනා තොරතුරුම කියා අයියා ඔහුව හඳන්වා දුනි. සිනාසෙන්නට අමතක ව ඇති නමුත් බලහත්කාරයෙන් සිනාවක් නගා ගතිමි.

“මචං මේ  අපේ පොඩි නංගි.. ලොක්කි බැඳිලා දැන් අවුරුදු දෙකයි.. මේක තාමත් නැටුම් ඉගෙන ගන්නවා... කලායතනේ එයාට ගෙදර වගේම තමයි. උඹට හුරු වෙනකල් කරවගන්න තියෙන වැඩක් මෙයාට කියලා කරවගනින්”

අයියා මිතුරාට මා හඳුන්වා දුනි. සැනෙකින් මෙතැනින් ගැලවී යන්ට මා හට උවමනා විය. පසුගිය දින කිහිපයේ ඔහුට කලහිරි හැරයන් කිවහොත් අයියාගෙන් බැනුම් ඇසීමට සිදුවනවා නියතය. ආගන්තුක සිනාවම යලිත් පුද කර හෙමි හෙමින් පඩි පේලියේ ඉතිරි අඩද නිම කර විගස කාමරයට වැදුනෙමි.

“මොකෝ මේ ආව ගමන් ඇඳ බදාගෙන... ඇඟපත සොදගෙන ඇඳුම් මාරු කරන් කුස්සිට ගිහින් අර අක්කට උදව් කරන්න පොඩි දුව... දැන් වෙනදා වගේ පැය ගානක්  ලත වෙවී ඉන්න බැහැ.. අද ඉඳන් ඔන්න අයියාගේ යාළුවෙක් ඇවිත් මෙහේ නතර වෙන්න... ඔයාලෑයේ  කලායතනෙමලු  වැඩ කරන්නේ...” අම්මා උළුවස්සට බරදීගෙන කීවාය.

“හ්ම්ම්ම්ම්ම්ම්” මා වියලි  ලෙස සුසුමක් හෙලීමි. සිතුවිලි ඕත්පලවී ඇත. අද සිටන් ඔහු අප නිවසේ සිටින බව වන පුවතක්. කුමක් සිතුනාදැයි මතක් කරනනට මේ මොහොතේ මා අපොහොසත්  නමුත්, හදවත කුල්මත් වු සෙයක් දැනුනු බව සැබෑවකි.

**~~~**

කාලය ඉබිගමන් යද්දි ඔහු අපේම නිවැසියෙකු විය.  නමුත්, කිසි විටෙක අප දෙදෙනා කතා නොකලෙමු. එකම වහලක් යට ආගන්තුකයින් වුවා මෙන්ම කලායතනය තුලදීද අපි නන්නාදුනන්නන් වීමට උත්සහ කලෙමු.
නමුත්. සිතුවිලි හැමවිටම ඔහු සමඟම විය. මට කලින් උදෑසන අවදි වන ඔහු සමන් පිච්ච ආරුක්කුව යට සිටන් උදෑසන තේ කොප්පය පානය කරයි. අයියාද ඔහු සමඟ සිටින් බැවින් නෙත් කැළුම් හෙලිය යුත්තේ රහසිනි.
  කිසිවිටෙකත් මා හා සමාන්තර වෙලාවක ඔහු නිවසින් පිට නොවෙයි.  සිතා මතා මා පමා වන බව හැඟුනු විට  ඔහු විගස පිටවී වේගයෙන් කලායතනය කරා යයි. නැතහොත් බොහෝ විට ඔහු පැමිනෙන්නේ මා පිටවී බොහෝ  වේලාවකට පසුවයි.

ඔහු මා ගනනකට නොගන්නා බව මසිත මටම වදදෙමින් පවසන කරුනක් විය.නමුත් ඔහු පිළිබඳ සිතුවිලි සිතට නැගෙන විටි සිතිවිලි ඉමට වැටි බදින්නට මා අපොහොසත් උනෙමි. සිත රිදවා ගැනීමේ නිමාවක් දකින්නට දැඩිලෙස උවමනා වුනි නමුත් සිතුවිලි සමඟ තරඟ කරන නිමේශයන් වේදනාවෙන් මිසක අනි ලෙසකින් නිමා නොවිනි.
අයියාගේ පොඩි දරුවන්ට  සිතුවම් කලාවට මුල් පොත් කියා  දෙමින් ඔවුන් හා  කෙලිදෙලන් ඔහුගේ සවස් යාමය ගෙවී යයි. මසිත සියුම් ඉරිසියාවකින් පෙලෙත් මුත් ඔවුන් හා එක් නොවන්නට තරම් මා සිතුවිලි වලින් මාන්නක්කාරියක වී සිටිමි. නමුත් කොහේ හෝ ඔවුනට පෙනෙනෙ ඉසව්වක සිටින්නට නිතරම වග බලා ගනිමි. ඒ නිහඬ ආතමය මගේ කර ගත යුතුය.. එහෙත්  තවමත් මඟක් නොදනිමි!

වරෙක් ඔහු පුංචි උන් හා මිදුලේ තණ බිස්සේ වාඩිගෙන සිතුවම් අඳිමින් උන්නේය. මිදුල කෙලවර ඔවුන පැහැදැලිව පෙනන ඉදව්වක වු ඔන්චිල්ලාවේ වාඩවී  පොතක් කියවන බවක් මවා පැවෙමි. සැබැවින්ට පොතෙහි වු අකුරු බොඳ වී ඒ අතර සිහින මාලිගා මැවෙමින් තිබුනි.  අවධානය ඔවුන්ගේ කතාබහ තුලම තිබි නිසාදෝ  ඔහු එතැනින් ඉවත්ව කාමරයට ගිය බව සැනෙන් තේරුම් ගන්නට හැකිවුනි.
විගස පොඩි දෙදෙනා අතරට ගොස් ඔහුගේ සිතුවම් පොත බැලිමේ ආශාවකින් මසිත ගිනි ඇවිලුනි. ඔහු සිත්තරෙකු බව දැන සිටි නමුත් ඔහුගේ ඇඟිලි තුඩු නිමැවු සිතුවමක් මෙතුවකට දැක නොමැත්තෙමි.

කඩිසර බවත් ක්ෂුක්ෂම බවත්  වේගයක් අතර ගතවුනු නිමේශය පොඩි දෙදෙනාටත්  නොපෙනී ඔහුගේ සිතුවම්  කොල කිහිපයක් සොරා ගැනීමේ කාර්‍යයට මහඟු රුකුලක් විය.
රටක් රාජ්‍යයක් ජයගෙන එන වීර සෙබලියක් මෙන් සිතුවම් කොල කිහිපයත් රුගෙන කාමරයට වැදුනු මා දොර තදින් වසා සයනයෙහි දිගෑදුනෙමි.. නිදහසේ විඳින්නට අතට ගත් සිතුවම් මගේ සැනසුමේ නිදහස සීමා කරලීය.


දෙවියනි... මා සිතුවිලි වලින් සිත්තරා මත්කලේ  නොවේද.... කිසි විට මා නොසිටි ඉරියව්වකින් මගේ රුව ඔහු මවා ඇත.....!!!!!



පසු සටහන...
සිතුවම උපුටා ගත්තකි!
at 10:36 PM 8 comments

Saturday, August 18, 2012

හමුව -confront


ලෝකය අව්‍යාජ යැයි සිතාගෙනම සිටිමි. මම වෙනස් විය යුතු නැත. ලොකයද වෙනස් නොවනු ඇත. එය මා තරයේ විශ්වාස කරමි.
එය සැබැම ලෝකයක් බව ආදරණිය පාඨක ඔබ දැන ගත යුතුමය.
කුඩා නිවසක ඔහු හා පටන් ගත් පුංචි ලෝකය තුල මා තවමත් සිරගතව සිටිමි. එය සැබෑවක් නොවුනු ඇත්තක් නමුත් එය මගේ ජීවිතය යැයි මම තරයේ සිතා සිටිමි.

“ඔයාගේ විකාර ඉවසලා මට පිස්සු වගේ දෝණි.... දැන්වත් වෙනස් වෙන්න...” අම්මා එසේ කියයි.

“
එයාට අපිව වටින්නේ නෑ.. එයාට හොඳ එයාගේ මනෝලෝකේ විතරයි”ඒ අප්පච්චීය.

“මොලේ කොලොප්පන් මෙයාට... මම කිව්වේ මෙයාට ඉස්සර ඉඳන් පොඩි මොලේ අමාරුවක් තිබුනා...” සිනානෙමින්මුත් මා එකම සොයුරා එසේ කියයි...
“ඔය මොන විකාර අදහස්ද... උඹ ඔය කන්ද නැගපන්.. පල්ලමකි ඒවි.. හැම දේම විසඳන්නේ කාලය...” හොඳම මිතුරන් එසේ සිත සනසයි.

එහෙත් මායාව...!!!! සැබැවින්ම එය ඇදහිය නොහැකි තරම් නිහඬය.  අන් කිසිවකටත් වඩා ඒ සොඳුරු නිහඬතාවය තුල මා අතරමංව සිටිමි. ඒ මියුරු හුදෙකලාව භාවනාවක් මෙන් සන්තානය සුවපත් කරන යුරු විඳින්නට මා කොතෙකුත් කැමැතිය.

ගමන් මල්ලට පුරවාගත් සියලු ආම්පන්න සමගින් උදෑසනම මගට බසිමි. අරමුණක් නොමැතිව වුවද නොදන්නා අරමුණක් සොයා යන ගමනක තවත් එක් මගියෙකු ලෙසින් අනෙක් මිනිසුන් අතරේ ගාටමින් ඇවිද යමි. මා ඇතැමුන්ට විකාරයක් සේ පෙනෙන බව මා දනිමි එහෙත් එය මා හට එතරම් කරුණක් නොවේ. ඔවුන් එසේ කියන විට මම එවන්දෑ සිනාවෙන් ඉවසා ගනිමි.  ඔවුන් මාගේ මනෝ ලෝකය නොදන්නා  මෝඩයන් බව සලකා ඔවුන්ට අන්කම්පා කරමි.

වැව් ඉවුර කෙදිනත් ජනයා ගැවසෙන තැනකි. නමුත්, තනි මම හැමදාමත් වැව් ඉවුර දිගේ රස්තියාදුවේ යන්නේ තනිවමය. අවට මිනිසුන්ට මාගේ දසුන අරුමයක් නොවන්නා සේම, නිතිපතා ඔවුන්ට පුදන අව්‍යාජවත් මදහස ද සුපුරුද්දකි.
ඒ සියල්ල සේම දිනපතා මා වාඩිවී සිටින ලී බංකුවද මටම කියා සින්නක්කර අයිති කර දුන්නක් ලෙස මම භුක්ති විඳිමි.
නමුත් අද???
මට පෙර පැමිනි අයෙකු එහි වාඩි ගෙන සිටී. සැනෙකින් සිතට දැනුනේ නොරිස්සුමකි.. මැය නම් මාගේ හුදෙකලාවට වින කරන්නට පැමිණි සැතිරියකි. ඇතුළු හදවත ඇයට ශාප කරද්දී, බංකුවේ නිදහස් කෙලවරේ වාඩි ගෙන ඇය දෙසට රුව්වෙමි. නමුත් ඇයට මා නොපෙනේ.. තම අවධානය පුවත් පතකට යොමා සිටි ඇය. මුහුණද පුවත් පතින්ම ආවරණය කරගෙන සිටියි.

“අදත් අවා නේද.....” නිහඬතාවය බිඳිමින් ඇය විමසීය.

“මගෙන්ද අහන්නේ.....” මම විමසිලිමත් වීමි.

“ඔව්... ඔයාගෙන් මායා.....” ඇය මා නමින්ද හඳුනන්නියකි.

“ඔ..ඔව්...ඔ..ඔයා... ක.. කවුද?” මම පුදුමයෙන් ඇසීමි.

“
ඔයා මාව අඳුනන්නේ නැහැ... කොටින්ම ඔයා මාව නොදන්න ගානට ඉන්නවා.....” ඇය කියු දේ මට අපබ්‍රන්සයක්ම විය.

“
මොනවා... මම ඔයාව....??  මීට කලින් අපි හමු වෙලත් නෑ..ඔයාගේ හඬ මම අදමයි ඇහුවේ...”

“
ඔව්..ඔයාට මගේ හඬ මීට කලින් අහන්න ලැබුනේම නෑ... මම ඉවසන් හිටියා.. මේතරම් දවසක්.. ඒත් අද....මම හිතුවා කතා කරන්න....”

“
මොනවා.....ඔයා මාව ගොඩ කලක  ඉඳන් දන්වාද?............ කොච්චර කලක්ද...මට ඔයා ගැන නිච්චියක් නැහැ....”

“
ඔයා මාව මායිම් කරනේ නැති කොට කෙහෙන්ද මං ගැන නිච්චියක්.. මම දන්න තරමින් මමයි වැඩිපුරම කාලයක් ඔයාව හොඳින්ම දන්නේ....”

“
විකාර.....!!”මම අපහාසාත්මක ලෙස සිනාසුනෙමි.

“
ඔහොම හිනා වෙන්න එපා මායා.. මම අකමැතිම ඔයා ගොන් පාට හිනාවට...” ඇයි නොරිස්සුමින් කීවාය.

“
මොකක්!! මගේ හිනාව ගොන් පාටයි????”

“ඔව්.. එහෙම තමා... ඔයා දන්නේ නෑ ඔයා මොනවද කරන්නේ කියලා.. ඔනි මෝඩ වැඩක් කරලා දාන්නේම ඔය හිනාව.... මට ඔයා එපා වෙලා තියෙන්නෙ ඒක නිසාමයි...”

“
හහ් හහ්හා!!! ඔයාට මාව එපා උනාට මටනම් කිසිම ප්‍රශ්ණයක් නෑ... මොකද මට ඔයාව ඔනි නෑ... ඔයා වගේ නන්නාදුනන කෙනක්ව කොහොමත් මට වටින්නේ නෑ...” මම නපුරු හඬකින් කීවෙමි.

“
එපා උනා කියලා දාලා යන්න බෑනේ... අනෙක.. ඔයා හිතාගෙන ඉන්නේ ඔයා මනෝලෝක වල මවාගෙන ඉන්න අයට ඔයාව ඔනි කියලාද?... මොන තරම් විකාරයක්ද මායා... ඔයාගේ වටේ ඉන්න හැමෝටම ඔයා වද දෙනවා..  විකාර ලෝකයක් හදාගෙන..” ඇය සමච්චල් සහගත ලෙස කියයි. මම විපිලිසර වුනෙමි. 

“
ඔයා කොහොමද මගේ මනෝ ලෝක ගැන දන්නේ... විකාර නොකියා ඉන්න....අනික දන්න දෙයක් කතා කරන්න... මගේ ලොකේ ගැන දන්නේ මම විතරයි....”

“
හපොයි.... ඇති වෙලා මට... ඔයාගේ විකාර ලොකේ.... පුංචි ඇනෙක්ස් එකක්, ඔයයි ඔයාගේ හීන කුමාරයයි.... හහ්හා හා හා අර කවදාවත් සඳුලු තලෙන් බැහැලා ඔයාව පිලිගන්න අකමැති හීන කුමාරයා... අන්න එයා... එයා ඇවිත් පුංචි රස්සාවක් කරනවාලු.. ඔයාලාට පොඩි බබෙකුත් ඉන්නවාලු... හරි සතුටින් ජීවත් වෙනවාලු.... මායා... මායා... මායා.... හිත ඇතුලේ ඔය වගේ ලස්සන කතා ඔනි තරම් ගොතා ගන්න පුළුවන්.. ඒත් හැබෑව ඊට වඩා ගොඩක් දරුණුයි.. සාහසිකයි.... හහ්හ් හා හා!!!” 

සමච්චල් හසගත සිනාවත් සමඟින් මගේ මනෝ රාජ්‍යය වාක්‍ය කිහිපයකින් සංරාංශ කල ඇය දෙස මාදෙනෙත් විසල් කොට ගෙනබලා සිටියෙමි.

“
ඔහොම බලන්න එපා.. මම ආස නෑ.. ඔයා ඔය තරමට බොළඳ වෙනවාට... ඔයා බැරිනම් ඇත්ත තේරුම් ගන්න.. මට ඉඩ දෙන්න ඒක ඔයාට තේරුම් කරන්න.....”අවසන ඇය සාවදානව කීවාය...


“
එහෙම කරන්න ඔයා කවුද....?” යමක් ඇසිය යුතු නිසාම ඇසීමි.


“
මම ඔයාමයි!” ඒ උන්නේද  මායාවීම විය.

at 9:55 AM 6 comments

Sunday, July 29, 2012

නිහඬ භාවාත්මය


සති අන්තය වෙහෙසකර ගමනක  සොඳුරු අම්බලම,.... උදාවීමට බොහෝකලක් ගතවන්නාවූත්,  ඉතා ඉක්මනින්න ගෙවී යන්නාවූත් කාලහෝරා කිහිපය, ජීවිතය නමැති නැවතුමක් දුර ඇති ගමනක ගිමන් නිවන විවේකය පමණක් නොව ස්නේහයෙන් බැඳියවුන් හා කාලය ගෙවා දැමිය හැකි සැරයකි
.
“මහ ගෙදර” තරම් සති අන්තයේදී  කාරය බහුල අන් තැනක් මම නොදනිමි. පිය පාර්ශවයේ නෑයින් බොහෝ දෙනෙකු විවේකය ගෙවාදැමීමට තොරාගත් සොඳුරු පාරාදීසය මෙයයි. ඒ මෙය ඔවුන් සියල්ලන්ගේම මුල් භුමිය නිසයි.

කාරයබහුල සතියේ දිනවල නොඇසෙන කුරුළු ගීත සති අන්තයේදී අපූර්වතම ලෙස සවනත වැකෙයි කොයි සිටන් හඬ නගනවාදැයි සොයාගත නොහැකි නමුත් විවිධ වර්ගයේ විහඟුන්ගේ  කන්කළු නාදයන් සවන්පත් පුරා නින්නාද දෙන්නේ වේගරිද්ම ඉංග්‍රීසි  ගීත වලින් විඩාපත් සවන්පත් භාවනාවකට සම වදිදවමිනි.

මා දෙසොහායුරන් අවදිකරවීම තරම්  වෙහෙසකර කාරයයක් සති අන්තයේදී තවත් නැත. උදෑසන සුන්දරත්වය අති නොවිඳින ඔවුන් ඔලමොට්ටලයන් ලෙස වරෙක මට සිතෙයි. සුර්ය උදාවත් සමඟ වියැකීයන තුහින පටලයෙන් සහිත තණකොල බිස්සේ ඇවිඳිමින් උදෑසන තේ කෝප්පය පානය කිරීම මා හදවතින්ම විඳින්නා වු ක්‍රියාවලියකි. උඳුපියලිය සහ බැලතණ මිශ්‍රව ඇති තණ බිස්සේ නිරුවත් දෙපයින් ඇවිද යාම භාවනාවක් වන්වු ශාන්ත ක්‍රියාවලියකි.

කාරයබහුල මහගෙදර. මගේ නිහඬ භාවාත්මයට බාධාවක් වන බැවින් සති අන්තයේමාගේ නවාතැන වන්නේ ඉඩම කෙලවරින් ගලා හැලෙන කුඩා දොළ පහරයි. කියවීමට යමක් අතැතිව මුදුන් වන හිරු රැස් යටින් දොල අද්දරට පල්ලම් බැසීම මගේ සති අන්ත දිනවර්‍යාවේ අනිවාර්‍ය අංගයකි.


නම නොදන්නා පඳුරු ශාක අතරින් ගමන් ගනිද්දී මගේ දෙපා හඬට බියවී දුවන සාවුන් පසුපස හඹායන්න තරම් බෙළඳ  ආශාවක් සිත තුග නලියන නමුත් වන ලැහැබෙහි සිටිනවා යැයි කියන සර්පයින්ට ඇති බිය නිසාම එසේ කිරීමට නිසිවිටෙකත් ඉදිරිපත් නොවෙමි.

දොළ අද්දර ගල්තලාව රෑස්ස වෘක්ෂ වියනකින් ආවරණය වු සුන්දර ඉසව්වකි. කිසිඳු මිනිස් කට හඬක් හෝ වාහනයක ඝොෂාකාරී ශබ්දයක් නොවන මේ ඉසව්ව. සැබැවින්ම නිහඬතාවයේ ප්‍රතිමූරතියකි. ඉඳහිට ඇසෙන කුරුළු කිචිබිචියක් හො අන් සතෙකුගේ නාදයක් හැරෙන්නට සවනත වැකෙන එකම නාදය දොළපහර ගලායන ඒ ගීතවත් හඬ පමණි. එය ගුමු ගුමුවක් කියන්නට මම ලෝබ වෙමි, සිල සිලියක්ද නොවන එය කිසිවිටෙනක් චුරු චුරුවක් නොවේ. එම මිහිරි නාදය සම කරන්නට සිංහල වදනක් සැබැවින්ම මම නොදන්නෙමි.  එය සවන්පත් අද්දර සිටන් මුමුණන ආදර ගීතිකාවක් තරමට සුන්දර නාදයක් පමණක්ම බව මා දනිමි.

කියවන්නට තොරාගත් පොත ගල්තලාව මත එහෙමමය පසෙකින් උඩුබැලි අතට වැතීරී   සුළං නාදය, කුරුළු කිචිබිචිය හාමුසුව ඇසෙන ජලපහරේ ගීතවත් නාදයට සවන් දීගෙන සිටිමි. කාලය කොතරම් වේගයෙන් ගෙවෙනවාදැයි ඔබ විශ්වාස නොකරනු ඇත.


ගල් තලාව මතින් රූටා විත් ජලතලය මත දෙපා  හොවා ගනිමි. කෙමෙන් කෙමෙන් ඉඟටිය දක්වා ජලයේ ගිලෙන මම කුඩා දැරියක මෙන් දෙපා ගසමින්  ජල ක්‍රීඩාවේ යෙදෙමි. එය ඉතාමත්ම ආශවාද ජනකය සැබැවින්ම මා සිහිල් දිය රැළි සමඟ රමණයේ යෙදෙනවා යැයි මොහොතකට සිතේ, එසැනින්න සිතුවිලි විසින්ම ලැජ්ජාවට පත්වන මම සෙමෙන් දෙනෙත් විවර කරමි. ගස් අතරින් මතුවන හිරුගේ රශමි කදම්භය දෙනෙතට ලම්භකව  ඉහළ අහසේ  දිස්වේ, ඒ මද්දහනට ආසන්න බව කියන්නටය, එහෙත් මේ ශිතල ජල ධාරාව හැරයන්නට සා සුදානම් නැත. නිවැසියන් මා සොයා  කලබල නොවන වග දන්නා නිසා සවස් වතතුරුත් මෙහි රැඳෙනු කැමැත්තෙමි. දිවා ආහාරය මඟහැරීම එතරම් කාරණයක්ද නොවේ.

නිහඬතාවය තරම් සුන්දර රසෝඝයක් තවද නැත.
 නිහඬතාවයට සවන් යොමා සිටිත්දී දුරගමන් යන සිත  නිහඬබව තුල පමණක්ම සිරගත වේ. ඒ සමථභාවයට මා බොහෝකලක් සිටම ඇලුම් කරමි. ආදරය කරමි. මේ මා ජීවිතයේ වින්දනය කරන උපරිම සැපතයි.

Oh god…!!  …. no….. oh!!  වින්දනය රාගයෙන් කෙලවර විය. නලල් තලයට වැටුනු දිය බිඳක් නාසය දෙතොල තෙමාගෙන ගෙල හරහා දෙපියයුරු අතරින් ගලා හැලිණි. රාගයෙන් කිතිකැවෙන සිතුවිලි අතරේ හුරුපුරුදු පිරිමි විළවුන් සුවඳ ඉව කරමින් උන්නෙමි. මෙවන් දඟකාරකමක් කරන්නට මෙලොව සිටින එකම ජීවියා ඔහුම පමණක්ම බව හොඳාකාරව දන්නා මා දෙනෙත් පියාගෙන දිගටම සිටියෙමි.

“දිය කිඳුරියක් වගේ වතුරේ බැහැගෙන මොකද මේ....” ඒ හඬම අවනතව දෙනෙත් විවිර කලෙමි. මා දෙනෙතට එබීගෙන මට පිටුපසින් ගල් තලාවේ හිඳගෙන උන්නේය. මා දෙනෙතින් පමණක් සිනාසුනෙමි.

“අපි ගෙදර යමුකෝ මායා... මට නම් මේ පාළු දොල පාර අයිනේ ඉන්න කම්මැලියි.” ඒ දෙනෙක් යලි යලින් ආරාධනා කරන්නට විය. මා නොසැලී ඔහු දෙසම බලා උනිමි.

“ලස්සන ෆිල්ම් එකක් ගෙනාවා යමු බලන්න.....”ඇවටිල්ලේ සීමාවක් නැත,  අවසන මා අවනත උනෙමි.

ඒ අවනත භාවය ආදරය තුලින් මතුවු අති උතුම් පරිත්‍යාගයයි. මන්ද  ඔහුගේ සෙනෙහස අසල මගේ නිහඬ ආත්මයට කිසිවිට ඉඩක් නොලැබෙන බව දැන දැනත් මම කටකාර දඟකාරයෙකුට ආදරය කලෙමි. ! 
at 8:02 AM 4 comments

Sunday, July 8, 2012

නිසසල සිහින


දහදියෙන් නැහැවුනු ගතින් යුතුව ව උන් මා ,  වායුසමීකරණයේ සිහිල් වාතය විසින් විසින් පවන් සලන ලදුව සුව නින්දක් වෙත පිවිසී තිබුනි.  තද දම් පැහැති සේද ගවොමෙහි මල් කැටයම් ගෙල අද්දර වේදනා මවද්දි ,  නිතර නිතර නිදි ඉරියව්ව වෙනස් කිරිම මට වදයක් විය.  පසුබිමින් අසුනු  ඉංග්‍රීසි ගීත නාදය නින්දත් නොනින්දත් අතර ගත  ගෙවීයන මොහොත  තව තවත් සුන්දර කරලීය.

නැහැ පුඩු පුරා රැදෙන  මෘදු පිරිමි විලවුන් සුවඳ විසින් ඔහුගේ ආත්මයම  මා වෙලාගෙන ඇති බව පසක්කරලීය. පියවුනු නෙත් අතරින් නමුදු ඇඳෙන ඡායාව දෙස මා බලා සිටියේ ලෝබ කමිනි. ගීතයේ රිද්මයටම වාගේම රිය ධාවනය කරන අයුරු  බලාසිටින්නට තරම් සුන්දරය. යලින් ගවොමේ මල් කැටයම් මට කරදර කරන්නට විය. කෙමෙන් වාහනයේ වේගය නැවතී යන සෙයක්  දැනුනි  මුත් මේ  නින්දට මා ලොබ බැදී සිටියෙමි.

"මායා...." ඔහුගේ  දෙතෝලේ පෙති මා  නලලේ ඉහල කෙලවරින් පටන් ගෙන ගෙල මුල නතර විය. ඔහුට  ඉඩදුන් මම නිදි ඉරියව්වේම සිටියෙමි මන්ද හදවත විදුලි සැරකින් කිති කැවීයන්නට වුවා සේම මා දෙනෙත් විවර කරන්න ලැජ්ජාවෙන් පසු වුනෙමි.

"මේ පාටට ඔයා පුදුම ලස්සනයි මායා." මා ගෙල මුල මුව හොවගෙන ඔහු මිමිණු දෙය හොඳනි  ඇසිනි.  නිදිබර දෙනෙත් පියවී තිබියදීම මගේ දකුණත ඔහුගේ කෙටි කෙස් අතරේ ලතාවකට දිව ගියේය.

"හොර කෙල්ල.. " විගසින් ඉස්සී මගේ කම්මුල තදින් සිපගත් ඔහු,  මෙතෙක් වේලා මගේ නින්දට බාධා කල මල් කැටයම් වැසෙන්නට බෑගයෙන් ගත් සුවපහසු තුවායක් අතුරා මෙතෙක් වේලා උකුල මත තබා උන්  නිල්මහනෙල් මල් පොකුර ගෙන පිටුපස අනුසට වීසි කලේය.

මාගේ මංගල ගමනට මේ වන් දම් පැහැති ගවුමකුත් නිල් මහනෙල් පොකුරකුත් එක්විය යුතු බව මා දැඩි ලෙස තීරණය කලේ පාසලේ උත්සවයකදී නිල් මහනෙල් වලින් පමණක්ම කල සැරසිලි නිසාය. යුවතියන්ගේ සුදු පැහිති පාසැල් ඇඳුමට යසට ගැලපුනු හැඩකාර දම්පැහැය තදින් මා සිත වෙලාගෙන තිබුනි. උදෑසන පොරුවට නගින්නට මා හැදි මුතු පැහැති දුහුල් ඔසරියට ඔහුගේ සුදු පැහැ උඩරට ඇඳුම අපූර්ව ලෙස ගැලපුණු බව මාගේ මිතුරියන් සියල්ලක්ම පාහේ කීවෝය.

"මායාගේ මානෙල් මල් හීනේ හැබෑ උනා එහෙනම් " සුබ පතන විට සියල්ලන්ම කීවේ එවදන් පෙලයි.

උත්සව ශාලාවෙන් පිටත් වන්නට පෙර අප සැරසුනු  මේ වස්ත්‍ර දෙස ශාලාවේ උන් සියල්ලෝම ප්‍රීතිය පිරි දෙනෙතින් බලා සිටිද්දි ඔහු මා දෙස  ස්තූති පූර්වක බැල්මක් හෙලීය.  නගරය පුරා ඔහුව රස්තියාදු  කරමින්   දම්පැහැයට හුරු සුදු කමිසයක් සොයද්දි මුහුණ එල්ලාගෙන සිටි ඔහු එතරම් වෙහෙසී සොයාගත් කමිසයත් මාගේ ගවොමේම පැහැයට හුරු ටයි පටියත්, කළු පැහැති  කබායේ   අමුනා තිබූ දම් පැහැ ඔකිඩ් කැකුලත් සමඟ එක්ව දුටු කල් ඉතාමත් කඩවසම් ලෙස පනුනි.

උදෑසන සිටන් සිඳුවු සියල්ලම එකපෙලට සිනමා පටයක් මෙන් නෙත් පුරා ඇදී ගියෙ අඩනින්ද තව තවත් සුන්දර කරමිනි.  සිහිනයක් සැබෑවුවාක් මෙන් ඔහුගේ සෙනෙහස මට හිමිවු තැන් පටන් සියලු සුන්දර මතකයන් එත් නැත් වු කල මසිත පාරාදීසයක් තරමට සුනදර නොවේදැයි මොහොතකට මට දැනුනි.

"මායා !!! තාමත් හොරට නිදිද.. අපි  හොටෙල් එකට ඇවිත් ඉන්නේ.." කම්මුලක් මුඳුව පිරිමදිමින් ඔහු මුහුණට නැඹුරුව උන්නේය. මම දෙනෙතින් ඔහු හා සිනාසුනෙමි.

"පිස්සු කෙල්ලව මගේ කරගන්න මේ තරම් දුක් වින්දේ ඇස් දෙකෙන් හිනා වෙන අහිංසක හිනාව  නිසා තමයි" සෘජු ලෙස මාගේ දෙනෙතට එබී ඔහු බැරෑරුම් ප්‍රකාශයක් කලේය.

ඔහු පසුපස වැටී අපගේ කොටේජය වෙත ගමන් ගන්නා කාලය තුල, මා ඒකපාර්ශ්වික ආදරයක අතරමන්වී සිටි කාලයේ  ඔහු ව දැඩි ලෙස ප්‍රතික්ෂේප කල යුරු සිහිකලෙමි.  ඹහු යන මගක හෝ යන්නට නොසිතූ මා අද ඔහු පසුපසින් වෙරළ නවාතැනට පියනැඟිම සැබැවින්ම මගේ සිහින ලෝකය  බිඳ වැටී,  යථාර්ථය සිහිනයකටත් වඩා සුන්දර ලෙසකින් සැබෑවීමකි.



සමුදුර අද්දර මෙම නවාතැන  තෝරා   ගත්තේ ඔහුයි . අනෙක් සියල්ල සැලසුම් කිරීම මා හට පැවරුනු රාජකාරි වු නමුත් මා හමුවීමටත් පෙර සිටන් ඔහු තොරාගත් මෙම සමුදුරු නිවාඩු නිකේතනය අප දිවියේ සුන්දරම දිනය ගෙවන්නට ඔහු  තොරා ගෙන තිබුනි.
මගේ ජීවිතයේ සිහින නොතිබුනා නොවේ. එහෙත් ඩිස්නි සුරංගනා කතාවකටත් වඩා බොළඳ වු ඒ සිහිනයන්හී ගිලී ජීවත් වු මට ඔහු අනාගතය සිහිනෙන් දුටු තරම් හැඩට දකින්නට නොහැකි වීම පිළිබඳ මොහොතකට  පසු තැවුනෙමි.

විවර වු දොරින් හෙමි හෙමින් කොටේජය තුලට ඇවිද ගිය මා සමුදුරු ඉසව්වට මුහුණ ලා ඇති  ලී බරාදියේ කෙල වර සිට ඈත සමුදුරු අනන්තය සෙවීමේ විකාර උත්සහයක යෙදුනෙමි. හදවත තුල වු සිතුවිලි අකුරු කර ගත  නොහැකි තරම් වුවා සේම පෙනහළු අතරින් විදුලි ධාරාවක් ගමන් ගන්නාක් මෙන් නුහුරු හැඟිමක මා වෙලී උන්නමි.

ජීවිතයේ ප්‍රථම වතාවට දෙමාපිය හවුහරනින් මිදීමේ නුහුර සේම පිරිමියෙකු සමඟ තනිවීමේ නුහුරු අත්දැකීමට මා දැන් සූදානම් විය යුතුය. දෝත මත පරවෙමින් තිබුණු නිල් මහනෙල් මල් මිටිය ලයට තුරුළු කරගත් වනම  ලොකු හුස්මකින් පෙනහළු පුරවා ගතිමි. බොහෝසෙයින් නොසන්සුන් වු විටෙක එසේ කරන්නැයි කියා දුන්නේ දහම්පාසලේ අභිධර්මය ඉගැන්නූ සඳමාලි අක්කාය. ඒ ක්‍රමය ජීවීතයේ බොහෝ තැන්වලදී සාරථක වී ඇත. සෙමින් පෙනහළු තුලින් වාතය පිට කරත්ම යලිත් ඔහුගේ පිරිමි විලවුන් සුවඳ මා අසලින්ම දැනෙන්නට විය.


"මොකෝ මගේ ලස්සන මනමාලි බය වෙලා වගේ......."

පළල් ගවොම් කරින් විවරව තිබු මගේ නිරුවත් උරහිස් මතින් දෝතම තබා ගෙන ඔහු මා පිටුපසින් සිටගෙන උන්නේය. ලතාවකට උරහිස් සම්භානය කරමින් ගෙල දක්වා දිඟු අතැඟිලි රැගෙන ආ ඔහු මට පිටු පසින් මුහුණට පහත් වී  නලල මත හාදුවක් සිත්තම් කලේය, ඔහු මට වඩා බොහෝ සෙයින් උස් වුයෙන් එය ඔහුට ඉතා පහසු විය.  නැවත  නැවතත් යට කී සියුම් විදුලි ධාරාව මා සිත කළඹන්නට විය. ඒ නිසාම මා බොහෝ වේලාවක් නිහඩවන්නටත් ඔහුට සිටි ඉරියව්වෙන්ට සිටින්නටත් සිදුවන්නට ඇත.

"මායා... ඔයා තාමත් හීන ලොකේද ....." නිහඬතාවය බිඳිය යුතු නිසාමදෝ ඔහු පවන් පත් අතර සිට මිමිණුවේය.

"ම්ම්ම්ම්"  දෙනෙත පියාගෙනම මා මිමිණුවෙමි...ඔහුගේ පහසින් මා මුදා ඉවත යන්නට ඔහු එතරම් වෙලාවක් නොගත්තේය..  මා හැරී බලන ඇසිල්ලෙන් අසල වු වේවැල් හාන්සි පුටුවට කඩාවැටුණු ඔහු මලානික මුහුණින් යුතුව ඈත ක්ෂිතිජය දෙසට නෙත් යොමා සිටියේ.
එක් අතකින් නිල්මානෙල් මල් මිටත් අනෙක් අතින් දිගු ගවොමේ බිම දිගෑදෙන කොටසත් රැගත් මම  සෙමින් ඔහු දෙසට පා නැගුවෙමි.. එහෙත් ඔහු තවදුරත් මා නුදුටු සෙයික් මවා පෙන්වමින් ඈතට නෙත්  යොමා සිටියේ..

ඒ නිහඬ බව දරාගත නොහැකි වු තැනකදී ලී පොළව මත දණඔබා ගත් මම අතවු මල් මිටිය බිමින් තබා දෑතින්ම ඔහුගේ මුහුණ ගතිමි.

"ඇයි මේ....." මා ඔහුගේ මුහුණට එබෙද්දි.. ඒ දෑස් තෙත්පටලයකින් වැසී,  දෙතොල් දැඩිව වියලී තිබුණි.

"මායා... ඔයා ආවේ සතුටින් නෙවෙයිනම්.. මේ දැන්ම මම ඔයාව ගෙදර එක්කරන් යන්නම්.. ඒත්.... ඔයා දකින හීන ලොකේ ඔයා පිළිගන්න ලැස්ති නෑ කියලා ඔයා වගේම මමත් හොඳින්ම දන්නවා... මට කල්පනා කරන්න දෙන්න.. මම දන්නේ නැහැ ඔයාගේ හීන ලොකේ රජ වෙන්න මම මොනවද කරන්න ඔනි කියලා.. ඒත්... මට පුළුවන් ඔයාව මගේ ජීවිත කාලේම මා ලඟින් තියාගෙන බලා ගන්න....ඒ...ත්.......ම අ හ්... " ඉතිරිය කියන්නට නොදී මා දෑගිලි වලින් ඔහුගේ මුව වැසුවෙමි..

"මම හින දකිනවා... මම උපන්නේ හීන දකින්නමයි.... ඒත්..... ඔයා හිතන විදියේ හීනයක් නෙවයි.... මම අද ඉඳන් දකින්නේ අළුත් හීනයක් ..... ඒ ඔයා එක්ක........" දෙනෙත බිමට බර කරගත්වනම මා කීවෙමි... යලිත් යමක් කියන්නට මට ඉඩ නොවීය... වේගයෙන් පුටුවෙන් නැගී සිටි ඔහු දෝතින්ම මා ඔසවාගෙන වටයක් කරකැවී සුන්දර සිනහවක් නැඟිය. 

“Love at first sight is easy to understand; it’s when two people 

have been looking at each other for a lifetime that it becomes a 

miracle.”
at 8:30 AM 8 comments
Newer Posts » « Older Posts Home
Subscribe to: Posts (Atom)

Labels

  • ගැඹුරු දිය (1)
  • පරිකල්පන (5)
  • මායාවී (2)

Blog Archive

  • ▼  2013 (1)
    • ▼  August (1)
      • මිතුරු ආදර කතාවක් (?)
  • ►  2012 (12)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  September (2)
    • ►  August (2)
    • ►  July (2)
    • ►  May (2)
    • ►  March (2)

Contributors

My Photo
Fantasm
View my complete profile
 
Copyright © මායාවී. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio