skip to main | skip to sidebar

මායාවී

Dreamer of Hallucination | මායාවේ සිහිනය දකින්නිය

Sunday, July 29, 2012

නිහඬ භාවාත්මය


සති අන්තය වෙහෙසකර ගමනක  සොඳුරු අම්බලම,.... උදාවීමට බොහෝකලක් ගතවන්නාවූත්,  ඉතා ඉක්මනින්න ගෙවී යන්නාවූත් කාලහෝරා කිහිපය, ජීවිතය නමැති නැවතුමක් දුර ඇති ගමනක ගිමන් නිවන විවේකය පමණක් නොව ස්නේහයෙන් බැඳියවුන් හා කාලය ගෙවා දැමිය හැකි සැරයකි
.
“මහ ගෙදර” තරම් සති අන්තයේදී  කාරය බහුල අන් තැනක් මම නොදනිමි. පිය පාර්ශවයේ නෑයින් බොහෝ දෙනෙකු විවේකය ගෙවාදැමීමට තොරාගත් සොඳුරු පාරාදීසය මෙයයි. ඒ මෙය ඔවුන් සියල්ලන්ගේම මුල් භුමිය නිසයි.

කාරයබහුල සතියේ දිනවල නොඇසෙන කුරුළු ගීත සති අන්තයේදී අපූර්වතම ලෙස සවනත වැකෙයි කොයි සිටන් හඬ නගනවාදැයි සොයාගත නොහැකි නමුත් විවිධ වර්ගයේ විහඟුන්ගේ  කන්කළු නාදයන් සවන්පත් පුරා නින්නාද දෙන්නේ වේගරිද්ම ඉංග්‍රීසි  ගීත වලින් විඩාපත් සවන්පත් භාවනාවකට සම වදිදවමිනි.

මා දෙසොහායුරන් අවදිකරවීම තරම්  වෙහෙසකර කාරයයක් සති අන්තයේදී තවත් නැත. උදෑසන සුන්දරත්වය අති නොවිඳින ඔවුන් ඔලමොට්ටලයන් ලෙස වරෙක මට සිතෙයි. සුර්ය උදාවත් සමඟ වියැකීයන තුහින පටලයෙන් සහිත තණකොල බිස්සේ ඇවිඳිමින් උදෑසන තේ කෝප්පය පානය කිරීම මා හදවතින්ම විඳින්නා වු ක්‍රියාවලියකි. උඳුපියලිය සහ බැලතණ මිශ්‍රව ඇති තණ බිස්සේ නිරුවත් දෙපයින් ඇවිද යාම භාවනාවක් වන්වු ශාන්ත ක්‍රියාවලියකි.

කාරයබහුල මහගෙදර. මගේ නිහඬ භාවාත්මයට බාධාවක් වන බැවින් සති අන්තයේමාගේ නවාතැන වන්නේ ඉඩම කෙලවරින් ගලා හැලෙන කුඩා දොළ පහරයි. කියවීමට යමක් අතැතිව මුදුන් වන හිරු රැස් යටින් දොල අද්දරට පල්ලම් බැසීම මගේ සති අන්ත දිනවර්‍යාවේ අනිවාර්‍ය අංගයකි.


නම නොදන්නා පඳුරු ශාක අතරින් ගමන් ගනිද්දී මගේ දෙපා හඬට බියවී දුවන සාවුන් පසුපස හඹායන්න තරම් බෙළඳ  ආශාවක් සිත තුග නලියන නමුත් වන ලැහැබෙහි සිටිනවා යැයි කියන සර්පයින්ට ඇති බිය නිසාම එසේ කිරීමට නිසිවිටෙකත් ඉදිරිපත් නොවෙමි.

දොළ අද්දර ගල්තලාව රෑස්ස වෘක්ෂ වියනකින් ආවරණය වු සුන්දර ඉසව්වකි. කිසිඳු මිනිස් කට හඬක් හෝ වාහනයක ඝොෂාකාරී ශබ්දයක් නොවන මේ ඉසව්ව. සැබැවින්ම නිහඬතාවයේ ප්‍රතිමූරතියකි. ඉඳහිට ඇසෙන කුරුළු කිචිබිචියක් හො අන් සතෙකුගේ නාදයක් හැරෙන්නට සවනත වැකෙන එකම නාදය දොළපහර ගලායන ඒ ගීතවත් හඬ පමණි. එය ගුමු ගුමුවක් කියන්නට මම ලෝබ වෙමි, සිල සිලියක්ද නොවන එය කිසිවිටෙනක් චුරු චුරුවක් නොවේ. එම මිහිරි නාදය සම කරන්නට සිංහල වදනක් සැබැවින්ම මම නොදන්නෙමි.  එය සවන්පත් අද්දර සිටන් මුමුණන ආදර ගීතිකාවක් තරමට සුන්දර නාදයක් පමණක්ම බව මා දනිමි.

කියවන්නට තොරාගත් පොත ගල්තලාව මත එහෙමමය පසෙකින් උඩුබැලි අතට වැතීරී   සුළං නාදය, කුරුළු කිචිබිචිය හාමුසුව ඇසෙන ජලපහරේ ගීතවත් නාදයට සවන් දීගෙන සිටිමි. කාලය කොතරම් වේගයෙන් ගෙවෙනවාදැයි ඔබ විශ්වාස නොකරනු ඇත.


ගල් තලාව මතින් රූටා විත් ජලතලය මත දෙපා  හොවා ගනිමි. කෙමෙන් කෙමෙන් ඉඟටිය දක්වා ජලයේ ගිලෙන මම කුඩා දැරියක මෙන් දෙපා ගසමින්  ජල ක්‍රීඩාවේ යෙදෙමි. එය ඉතාමත්ම ආශවාද ජනකය සැබැවින්ම මා සිහිල් දිය රැළි සමඟ රමණයේ යෙදෙනවා යැයි මොහොතකට සිතේ, එසැනින්න සිතුවිලි විසින්ම ලැජ්ජාවට පත්වන මම සෙමෙන් දෙනෙත් විවර කරමි. ගස් අතරින් මතුවන හිරුගේ රශමි කදම්භය දෙනෙතට ලම්භකව  ඉහළ අහසේ  දිස්වේ, ඒ මද්දහනට ආසන්න බව කියන්නටය, එහෙත් මේ ශිතල ජල ධාරාව හැරයන්නට සා සුදානම් නැත. නිවැසියන් මා සොයා  කලබල නොවන වග දන්නා නිසා සවස් වතතුරුත් මෙහි රැඳෙනු කැමැත්තෙමි. දිවා ආහාරය මඟහැරීම එතරම් කාරණයක්ද නොවේ.

නිහඬතාවය තරම් සුන්දර රසෝඝයක් තවද නැත.
 නිහඬතාවයට සවන් යොමා සිටිත්දී දුරගමන් යන සිත  නිහඬබව තුල පමණක්ම සිරගත වේ. ඒ සමථභාවයට මා බොහෝකලක් සිටම ඇලුම් කරමි. ආදරය කරමි. මේ මා ජීවිතයේ වින්දනය කරන උපරිම සැපතයි.

Oh god…!!  …. no….. oh!!  වින්දනය රාගයෙන් කෙලවර විය. නලල් තලයට වැටුනු දිය බිඳක් නාසය දෙතොල තෙමාගෙන ගෙල හරහා දෙපියයුරු අතරින් ගලා හැලිණි. රාගයෙන් කිතිකැවෙන සිතුවිලි අතරේ හුරුපුරුදු පිරිමි විළවුන් සුවඳ ඉව කරමින් උන්නෙමි. මෙවන් දඟකාරකමක් කරන්නට මෙලොව සිටින එකම ජීවියා ඔහුම පමණක්ම බව හොඳාකාරව දන්නා මා දෙනෙත් පියාගෙන දිගටම සිටියෙමි.

“දිය කිඳුරියක් වගේ වතුරේ බැහැගෙන මොකද මේ....” ඒ හඬම අවනතව දෙනෙත් විවිර කලෙමි. මා දෙනෙතට එබීගෙන මට පිටුපසින් ගල් තලාවේ හිඳගෙන උන්නේය. මා දෙනෙතින් පමණක් සිනාසුනෙමි.

“අපි ගෙදර යමුකෝ මායා... මට නම් මේ පාළු දොල පාර අයිනේ ඉන්න කම්මැලියි.” ඒ දෙනෙක් යලි යලින් ආරාධනා කරන්නට විය. මා නොසැලී ඔහු දෙසම බලා උනිමි.

“ලස්සන ෆිල්ම් එකක් ගෙනාවා යමු බලන්න.....”ඇවටිල්ලේ සීමාවක් නැත,  අවසන මා අවනත උනෙමි.

ඒ අවනත භාවය ආදරය තුලින් මතුවු අති උතුම් පරිත්‍යාගයයි. මන්ද  ඔහුගේ සෙනෙහස අසල මගේ නිහඬ ආත්මයට කිසිවිට ඉඩක් නොලැබෙන බව දැන දැනත් මම කටකාර දඟකාරයෙකුට ආදරය කලෙමි. ! 
at 8:02 AM 4 comments

Sunday, July 8, 2012

නිසසල සිහින


දහදියෙන් නැහැවුනු ගතින් යුතුව ව උන් මා ,  වායුසමීකරණයේ සිහිල් වාතය විසින් විසින් පවන් සලන ලදුව සුව නින්දක් වෙත පිවිසී තිබුනි.  තද දම් පැහැති සේද ගවොමෙහි මල් කැටයම් ගෙල අද්දර වේදනා මවද්දි ,  නිතර නිතර නිදි ඉරියව්ව වෙනස් කිරිම මට වදයක් විය.  පසුබිමින් අසුනු  ඉංග්‍රීසි ගීත නාදය නින්දත් නොනින්දත් අතර ගත  ගෙවීයන මොහොත  තව තවත් සුන්දර කරලීය.

නැහැ පුඩු පුරා රැදෙන  මෘදු පිරිමි විලවුන් සුවඳ විසින් ඔහුගේ ආත්මයම  මා වෙලාගෙන ඇති බව පසක්කරලීය. පියවුනු නෙත් අතරින් නමුදු ඇඳෙන ඡායාව දෙස මා බලා සිටියේ ලෝබ කමිනි. ගීතයේ රිද්මයටම වාගේම රිය ධාවනය කරන අයුරු  බලාසිටින්නට තරම් සුන්දරය. යලින් ගවොමේ මල් කැටයම් මට කරදර කරන්නට විය. කෙමෙන් වාහනයේ වේගය නැවතී යන සෙයක්  දැනුනි  මුත් මේ  නින්දට මා ලොබ බැදී සිටියෙමි.

"මායා...." ඔහුගේ  දෙතෝලේ පෙති මා  නලලේ ඉහල කෙලවරින් පටන් ගෙන ගෙල මුල නතර විය. ඔහුට  ඉඩදුන් මම නිදි ඉරියව්වේම සිටියෙමි මන්ද හදවත විදුලි සැරකින් කිති කැවීයන්නට වුවා සේම මා දෙනෙත් විවර කරන්න ලැජ්ජාවෙන් පසු වුනෙමි.

"මේ පාටට ඔයා පුදුම ලස්සනයි මායා." මා ගෙල මුල මුව හොවගෙන ඔහු මිමිණු දෙය හොඳනි  ඇසිනි.  නිදිබර දෙනෙත් පියවී තිබියදීම මගේ දකුණත ඔහුගේ කෙටි කෙස් අතරේ ලතාවකට දිව ගියේය.

"හොර කෙල්ල.. " විගසින් ඉස්සී මගේ කම්මුල තදින් සිපගත් ඔහු,  මෙතෙක් වේලා මගේ නින්දට බාධා කල මල් කැටයම් වැසෙන්නට බෑගයෙන් ගත් සුවපහසු තුවායක් අතුරා මෙතෙක් වේලා උකුල මත තබා උන්  නිල්මහනෙල් මල් පොකුර ගෙන පිටුපස අනුසට වීසි කලේය.

මාගේ මංගල ගමනට මේ වන් දම් පැහැති ගවුමකුත් නිල් මහනෙල් පොකුරකුත් එක්විය යුතු බව මා දැඩි ලෙස තීරණය කලේ පාසලේ උත්සවයකදී නිල් මහනෙල් වලින් පමණක්ම කල සැරසිලි නිසාය. යුවතියන්ගේ සුදු පැහිති පාසැල් ඇඳුමට යසට ගැලපුනු හැඩකාර දම්පැහැය තදින් මා සිත වෙලාගෙන තිබුනි. උදෑසන පොරුවට නගින්නට මා හැදි මුතු පැහැති දුහුල් ඔසරියට ඔහුගේ සුදු පැහැ උඩරට ඇඳුම අපූර්ව ලෙස ගැලපුණු බව මාගේ මිතුරියන් සියල්ලක්ම පාහේ කීවෝය.

"මායාගේ මානෙල් මල් හීනේ හැබෑ උනා එහෙනම් " සුබ පතන විට සියල්ලන්ම කීවේ එවදන් පෙලයි.

උත්සව ශාලාවෙන් පිටත් වන්නට පෙර අප සැරසුනු  මේ වස්ත්‍ර දෙස ශාලාවේ උන් සියල්ලෝම ප්‍රීතිය පිරි දෙනෙතින් බලා සිටිද්දි ඔහු මා දෙස  ස්තූති පූර්වක බැල්මක් හෙලීය.  නගරය පුරා ඔහුව රස්තියාදු  කරමින්   දම්පැහැයට හුරු සුදු කමිසයක් සොයද්දි මුහුණ එල්ලාගෙන සිටි ඔහු එතරම් වෙහෙසී සොයාගත් කමිසයත් මාගේ ගවොමේම පැහැයට හුරු ටයි පටියත්, කළු පැහැති  කබායේ   අමුනා තිබූ දම් පැහැ ඔකිඩ් කැකුලත් සමඟ එක්ව දුටු කල් ඉතාමත් කඩවසම් ලෙස පනුනි.

උදෑසන සිටන් සිඳුවු සියල්ලම එකපෙලට සිනමා පටයක් මෙන් නෙත් පුරා ඇදී ගියෙ අඩනින්ද තව තවත් සුන්දර කරමිනි.  සිහිනයක් සැබෑවුවාක් මෙන් ඔහුගේ සෙනෙහස මට හිමිවු තැන් පටන් සියලු සුන්දර මතකයන් එත් නැත් වු කල මසිත පාරාදීසයක් තරමට සුනදර නොවේදැයි මොහොතකට මට දැනුනි.

"මායා !!! තාමත් හොරට නිදිද.. අපි  හොටෙල් එකට ඇවිත් ඉන්නේ.." කම්මුලක් මුඳුව පිරිමදිමින් ඔහු මුහුණට නැඹුරුව උන්නේය. මම දෙනෙතින් ඔහු හා සිනාසුනෙමි.

"පිස්සු කෙල්ලව මගේ කරගන්න මේ තරම් දුක් වින්දේ ඇස් දෙකෙන් හිනා වෙන අහිංසක හිනාව  නිසා තමයි" සෘජු ලෙස මාගේ දෙනෙතට එබී ඔහු බැරෑරුම් ප්‍රකාශයක් කලේය.

ඔහු පසුපස වැටී අපගේ කොටේජය වෙත ගමන් ගන්නා කාලය තුල, මා ඒකපාර්ශ්වික ආදරයක අතරමන්වී සිටි කාලයේ  ඔහු ව දැඩි ලෙස ප්‍රතික්ෂේප කල යුරු සිහිකලෙමි.  ඹහු යන මගක හෝ යන්නට නොසිතූ මා අද ඔහු පසුපසින් වෙරළ නවාතැනට පියනැඟිම සැබැවින්ම මගේ සිහින ලෝකය  බිඳ වැටී,  යථාර්ථය සිහිනයකටත් වඩා සුන්දර ලෙසකින් සැබෑවීමකි.



සමුදුර අද්දර මෙම නවාතැන  තෝරා   ගත්තේ ඔහුයි . අනෙක් සියල්ල සැලසුම් කිරීම මා හට පැවරුනු රාජකාරි වු නමුත් මා හමුවීමටත් පෙර සිටන් ඔහු තොරාගත් මෙම සමුදුරු නිවාඩු නිකේතනය අප දිවියේ සුන්දරම දිනය ගෙවන්නට ඔහු  තොරා ගෙන තිබුනි.
මගේ ජීවිතයේ සිහින නොතිබුනා නොවේ. එහෙත් ඩිස්නි සුරංගනා කතාවකටත් වඩා බොළඳ වු ඒ සිහිනයන්හී ගිලී ජීවත් වු මට ඔහු අනාගතය සිහිනෙන් දුටු තරම් හැඩට දකින්නට නොහැකි වීම පිළිබඳ මොහොතකට  පසු තැවුනෙමි.

විවර වු දොරින් හෙමි හෙමින් කොටේජය තුලට ඇවිද ගිය මා සමුදුරු ඉසව්වට මුහුණ ලා ඇති  ලී බරාදියේ කෙල වර සිට ඈත සමුදුරු අනන්තය සෙවීමේ විකාර උත්සහයක යෙදුනෙමි. හදවත තුල වු සිතුවිලි අකුරු කර ගත  නොහැකි තරම් වුවා සේම පෙනහළු අතරින් විදුලි ධාරාවක් ගමන් ගන්නාක් මෙන් නුහුරු හැඟිමක මා වෙලී උන්නමි.

ජීවිතයේ ප්‍රථම වතාවට දෙමාපිය හවුහරනින් මිදීමේ නුහුර සේම පිරිමියෙකු සමඟ තනිවීමේ නුහුරු අත්දැකීමට මා දැන් සූදානම් විය යුතුය. දෝත මත පරවෙමින් තිබුණු නිල් මහනෙල් මල් මිටිය ලයට තුරුළු කරගත් වනම  ලොකු හුස්මකින් පෙනහළු පුරවා ගතිමි. බොහෝසෙයින් නොසන්සුන් වු විටෙක එසේ කරන්නැයි කියා දුන්නේ දහම්පාසලේ අභිධර්මය ඉගැන්නූ සඳමාලි අක්කාය. ඒ ක්‍රමය ජීවීතයේ බොහෝ තැන්වලදී සාරථක වී ඇත. සෙමින් පෙනහළු තුලින් වාතය පිට කරත්ම යලිත් ඔහුගේ පිරිමි විලවුන් සුවඳ මා අසලින්ම දැනෙන්නට විය.


"මොකෝ මගේ ලස්සන මනමාලි බය වෙලා වගේ......."

පළල් ගවොම් කරින් විවරව තිබු මගේ නිරුවත් උරහිස් මතින් දෝතම තබා ගෙන ඔහු මා පිටුපසින් සිටගෙන උන්නේය. ලතාවකට උරහිස් සම්භානය කරමින් ගෙල දක්වා දිඟු අතැඟිලි රැගෙන ආ ඔහු මට පිටු පසින් මුහුණට පහත් වී  නලල මත හාදුවක් සිත්තම් කලේය, ඔහු මට වඩා බොහෝ සෙයින් උස් වුයෙන් එය ඔහුට ඉතා පහසු විය.  නැවත  නැවතත් යට කී සියුම් විදුලි ධාරාව මා සිත කළඹන්නට විය. ඒ නිසාම මා බොහෝ වේලාවක් නිහඩවන්නටත් ඔහුට සිටි ඉරියව්වෙන්ට සිටින්නටත් සිදුවන්නට ඇත.

"මායා... ඔයා තාමත් හීන ලොකේද ....." නිහඬතාවය බිඳිය යුතු නිසාමදෝ ඔහු පවන් පත් අතර සිට මිමිණුවේය.

"ම්ම්ම්ම්"  දෙනෙත පියාගෙනම මා මිමිණුවෙමි...ඔහුගේ පහසින් මා මුදා ඉවත යන්නට ඔහු එතරම් වෙලාවක් නොගත්තේය..  මා හැරී බලන ඇසිල්ලෙන් අසල වු වේවැල් හාන්සි පුටුවට කඩාවැටුණු ඔහු මලානික මුහුණින් යුතුව ඈත ක්ෂිතිජය දෙසට නෙත් යොමා සිටියේ.
එක් අතකින් නිල්මානෙල් මල් මිටත් අනෙක් අතින් දිගු ගවොමේ බිම දිගෑදෙන කොටසත් රැගත් මම  සෙමින් ඔහු දෙසට පා නැගුවෙමි.. එහෙත් ඔහු තවදුරත් මා නුදුටු සෙයික් මවා පෙන්වමින් ඈතට නෙත්  යොමා සිටියේ..

ඒ නිහඬ බව දරාගත නොහැකි වු තැනකදී ලී පොළව මත දණඔබා ගත් මම අතවු මල් මිටිය බිමින් තබා දෑතින්ම ඔහුගේ මුහුණ ගතිමි.

"ඇයි මේ....." මා ඔහුගේ මුහුණට එබෙද්දි.. ඒ දෑස් තෙත්පටලයකින් වැසී,  දෙතොල් දැඩිව වියලී තිබුණි.

"මායා... ඔයා ආවේ සතුටින් නෙවෙයිනම්.. මේ දැන්ම මම ඔයාව ගෙදර එක්කරන් යන්නම්.. ඒත්.... ඔයා දකින හීන ලොකේ ඔයා පිළිගන්න ලැස්ති නෑ කියලා ඔයා වගේම මමත් හොඳින්ම දන්නවා... මට කල්පනා කරන්න දෙන්න.. මම දන්නේ නැහැ ඔයාගේ හීන ලොකේ රජ වෙන්න මම මොනවද කරන්න ඔනි කියලා.. ඒත්... මට පුළුවන් ඔයාව මගේ ජීවිත කාලේම මා ලඟින් තියාගෙන බලා ගන්න....ඒ...ත්.......ම අ හ්... " ඉතිරිය කියන්නට නොදී මා දෑගිලි වලින් ඔහුගේ මුව වැසුවෙමි..

"මම හින දකිනවා... මම උපන්නේ හීන දකින්නමයි.... ඒත්..... ඔයා හිතන විදියේ හීනයක් නෙවයි.... මම අද ඉඳන් දකින්නේ අළුත් හීනයක් ..... ඒ ඔයා එක්ක........" දෙනෙත බිමට බර කරගත්වනම මා කීවෙමි... යලිත් යමක් කියන්නට මට ඉඩ නොවීය... වේගයෙන් පුටුවෙන් නැගී සිටි ඔහු දෝතින්ම මා ඔසවාගෙන වටයක් කරකැවී සුන්දර සිනහවක් නැඟිය. 

“Love at first sight is easy to understand; it’s when two people 

have been looking at each other for a lifetime that it becomes a 

miracle.”
at 8:30 AM 8 comments

Thursday, May 17, 2012

මෝඩ සමනලයා



පහන් දැල්ලක් අභියස
එළි තිතට පරෙකන
සමනළයා

විස කුරු කෘම්න්  සමඟින්
පහනට පරෙකන
සමනළයා

පහනෙන් සැසුම ලබා
මියෙන්නට හීන දුටු
සමනළයා

සිය දිවි තොරකරගන්නට
පහනට ඇදෙන
සමනළයා

ආලෝක මායාවේ නොගිලී
මිය යාවි රහසේම
සමනළයා

විසකුරු සතුනගෙ දළ සැරින්
විශ වැදි මියයාවි
මෝඩ සමනලයා
at 5:35 PM 3 comments

Friday, May 11, 2012

මම සිහින මවමි <*> I am Dreaming


මම සිහින දකිමි. උදෑසන නිදි පැදුරෙන් අවදිවීමේ පටන් රෑයෙහි යලි නිදි පැදුරට සේන්දු වන තෙක් අවදියෙන් සිහින දකිනා මම,  සුවදායි සයනයේ ඒ මේ අත පෙරලෙමින් නිදි ලොවේ සිහිනයන් රස විඳිමි.

විටෙක අවුන්සාන් සුකී ලෙසින් ආන්දෝලනාත්මක දේශපාලිකාවක් වන මම, ඇතැම් විටක කුරුබාන් චිත්‍රපටයේ සයිෆ්ආලි ඛාන් ගේ සුරතේ වෙලී  ෂුකරණල්ලහ්හා  ගීත ව්ඩියෝවේ රඟමි. තවත් විටෙක මම ඔෂින්ය.  ජපානයේ දුප්පත් ගොඩි පවුලක ඉපැද ජීවිතය මුහුණ දෙන කාන්තාව මම වෙමි.

මේ සියලු චරිත රඟද්දි,  මාතුලින්  මතුවන දඟකාරියද නැතිවාම නොවේ. උදෑසන නිදියහනින් අවදිවීම සුන්දර ඉරියව්වකින් කරන්නට මම සිහින මවමි. ජනේල පලු අතරින් රන්වන් හිරු රශ්ම් දාරාවන්  කුටිය තුලට පිවිසෙද්දි නැවුම් ප්‍රෙබෝදයකින් යුතුව සයනයේ හරිබරි ගැසී දෑත් දෙපට විහිදා දෙනෙත් පියා, මොහොතක් සිටින්නට මම සිහින මවමි. සේදවන්  ජනේල තිර අද්දර සිට ඈත කඳුයායේ බොඳවීයන අළුයම මීදුම් පටලයන් දෙස බලා සිටින්නටත් මම කැමැත්තතෙමි. මෑතින් පෙනෙන කඳු බෑවුම අරින් ගලා යන දියපහරේ ගුමු නඳ අසාසිටීම මට සිහිනයකි.  ගෙමිදුලෙහි සමන් පිච්ච ආරුක්කුව සෙවනේ සිටන් කුරුලු ගීත ඇසීමද මගේ සිහිනවල කොටසකි.

තවත් විටෙක පාපැදිය ඉදිරියේ ජේබරාස්  මල් මිටියක් තබාගෙන කඳුකර පාවල් පුරා රස්තියාදු ගසන්නට මම සිහින මවමි. ඉදිරියෙන් මඟ හරස් කර සිටින එළු රෑන් අතරේ දුවපනින්නටත් ගොපළු දරුවන් හා මිටියාවතේ ක්‍රිඩා කරන්නටත් මම සිහින මවමි.  මම තව තවත් සිහින මවමි ගුරු ගීතයේ අල්තීනායි  ලෙසින් කුඩාදැරියන් සමඟ කඳුකරයේ වියලි ගොම එකතු කරන්නට යමි, ඈ හැඳ  සිටියායි මා මවා ගන්නා දිගු ගවෝමත්, හිස බැඳි රෙදිකඩත් සහිව කදු මුදුනේ පොප්ලර් ගස පාමුල  සිට පුළුන් සුදු පැහැ හා පැටවුන් වට කරන් සිටිමි. දුෂෙයින් කෙනෙකු නැති ඒ සිහිනයේ මා යනු කවුදැයි මා මවා ගන්නේ රැෆියල් සැන්ඩිගේ  චිත්‍රයක දුටු රුවකි . ඇය වටා සිටින දරුවන් ‍වෙනුවට මා වටා සුදු පැහැ සාවුන් සිටී. 


එම සිහිනයම මා නවීන ලෝකයේ සුව පහුස දිවියක් ගෙවන යුවතියක් සේ දකිමි. සුවපහසු  නිවසක උඩුමහලේ  තැනු එලිමහන් උයනක නොවක් හැඩයෙන් පිරිපුන් මල් සහිත කෘත්‍රීම උයනක මල් වැලකින් එතු ඔන්චිල්ලාවක පැද්දෙමින් සුදු පැහැ හාවෙකු සුරතල් කරන්නට මම සිහින දකිමි.

යුවතියකගේ සිහින ලෝකට මීන් බොහෝ ඉදිරියට යන්නකි. ඉතින් අවසරයි. කෙන්‍ක්‍රීට් ලෝකයක සිරගත සිහින දකින්නී මායාවියට ඇගේ සිහිනයක් අකුරු කරන්නට


මම
මායාවී සිහින දකින්නී වෙමි!
at 6:52 PM 3 comments

Friday, March 9, 2012

ගැඹුරු දිය

ජනේලය අද්දරට  නිසොල්මනේ ඇවිදගිය ක්‍රිෂ් , ඇඳි පුටුවේ මොහොතකට දෙනෙත් පියා ඇල උනේය , ගැඹුරු හුස්මකින් ලය පුරවාගනිමින් අවටට කන් දුන්නේය. කිසිවක් නෑසිනි. ඈතින් ඇසෙන රළපහරේ දඩිබිඩිය හැරෙනනට කිසිත් නෑසුනේය.  වැල්ල අයිනේ මතුවී පෙනුනු ගුප්ත මාලිගා සහ අත්භූත පිළිම නිසොල්මනේ සිටිත්දී , දඟකාරලෙස වෙරළට ඇදෙන දිය රළිති විසින් වෙරළ කෙලවර වු ගල්පර කෙමෙන්  දියකර හරිනු ලැබීය.  අසන්නට ලැබුනේ දියරැලිති වල  නිහඬ නාදය පමණි.

දිවා රැයෙහි වෙනසක් නොමැතිව රළ පහරේ  මිහිරි නාදය මාලිගාව සිසාරා මෙසේ ගීතවත් නඳිකින් පැතිරෙයි.

මුහුදු යායා පුරාවට ගුප්ත නිහඬබවක් ඇතිකරමින්  මුහුදේ නාදය පමණක් කලබලකාරීව  ඉතිරිව පැවතිනි.

ඒ හැරෙන්නට විටින් විට  ගොඩ දෙසින් ඇසෙන පියාපත් නාදයන් හා මුසුවු මුහුදු ජලයේ සියුම් මිමිනිල්ල ගීතවත් ලෙසින් ඔහුගේ සවන් වැකෙන්නට විය.

නමුත් එක් මොහොතක සමුදුරේ නාදයට අමතර හඬක් ක්‍රිෂගේ සවන්පත් වැකි, වියැකී ගියේය.  එය සෑම උදැසනකම සිරිත් ලෙස   කොරිඩෝව කෙලවරට අහම්බෙන් ඇසෙන මේ සුමුහිරි නාදය හඳුනා ගැන්මට ක්‍රිෂ්ට අපහසුවක් නොවිනි.

සේවකයින් මාලිගාව පිරිසිදු කරද්දී නැගනෙ හඬ හෝ මුළුතැන්ගෙය දෙසින් ඇසෙන නාදයන් කිසිවක් ඔහුට නෑසුනේය. මුහුඳු බඩ මන්දිරය දෙසින් ඔහුට හඬගසන   මවගේ කට හඬ ඔහුට නෑසි ගියේය. මාළුබාන්නන්ගේ නලා හඬද පරයා ඔහුට ඇසුනේ මුහුදේ මිහිරි නාදයයි.

ඔහු නැවුම් ගැඹුරු හුස්මකින් යලින් පපුකුහර පුරවා ගත්තේය.  එහෙත් සැනකින් ඔහුගේ කිසිඳු ලැදිකමක් නොමැති අසම්පුර්ණ සොයුරිය පැමිණියෙන් ක්‍රිෂ් ගැස්සී සිටි තැනම ගල් ගැසී වාඩි උනේය.  ජනේලයට එපිට අහස ඉතාමත්ම පැහැදිලි විය, මැණික් ගල් වලින් සැරසූ බිත්ති මෙන්ම සුපිරිසිඳුව ඔහුගේ කාමරයේ පොළවද හොඳින් මැද පිරිසිදු කර තිබිනි.  යහන වටිනා රෙදිපිළිවලින් හැඩ කර තිබින.

සොයුරිය  ජනේලය අසලින් ගමන් කොට  සේවකයින් පිරිසිදු කිරිමේ කාර්‍යය අවසන් කර ඇත්දැයි විමසා බැලුවාය.

දැහැන බිඳ වැටීමෙන් ඇතිවු හදිසි ගැස්ම දරාගනු වස් ක්‍රිෂ් තම උදරය දෑතින් තෙරපා ගත්තේය. ඇතින් නොනවත්වා දිය රැළිති නංවන සමුදුර දෙස නොබලා සිටින්නට ඔහුට සිත් නොවීය. විටෙක එහි ජලය කොතරම් ගැඹුරුදැයි ඔහු කල්පනා කලේය. ඇතැම් විටක එහි කුමනාකාරයේ ජීවින් ඇත්දැයි ඔහු සිතින් විමසුවේය. ඒ සියල්ලක්ම තමාට ආගන්තුක බව පමණක්ම ඔහු දැනගෙන උන්නේය.

එක්වරම නිදියහන වෙත හැරුණු ක්‍රිෂ් පෙර  රාත්‍රියේ ඇද දමා තිබූ ඇතිරිලි අතරේ අතගා ඔහු  ඉතා ප්‍රිය කල මුහුදු නිල් පැහැති දිගකලිසම  සොයා ගත්තේය. එම පැහැයට ඔහුගේ සොයුරිය නැන්ඩ්‍රීස්  බෙහෙවින් ආශාකරන බව දැන සිටි ඔහු  මුහුදු රළ නිරූපණය කරන්නට මෙන් බොර පැහැයට හුරු සුදු කමිසයක් ඇඟලා ගත්තේය. මුහුදු කටුස්සන්ගේ සමින් නිමවූ බූට් සපත්තුද පැළඳ ගත්තේය.  එය  ඔයුගේ සොයුරිය නැන්ඩ්‍රීස්  විසින් ඔහුට සිත සමයේ තිලිණ කරන ලද්දක් විය.

පෙර රැයේ අදෑසනට මනා ලෙස සූදානම් වු නිසාදෝ උදේහාරය සඳහා ඔහු එනතුරු  කොරිඩෝ බලාසිටි නැන්ඩ්‍රීස්  ගේ  සිනහව ඔහුට ඇසෙන්නට විය.

නමුත් මායාවක් වන්ව ඇසුණු සිනහා හඬ අතරේ කොරිඩෝවේදී ඔහුට නැන්ඩ්‍රීස්  මුණ නොගැසිනි. කැමමේසයේද ඇයගේ අසුන හිස්ව තිබුනි. ඒ හැරෙන්නට කිසිදු සේවකයෙකවත් ඔහුව දක්නට නොලැබිනි.

ජනේලයෙන් එපිට පෙනෙන පළතුරු ගස් අතරේ කිසිවෙකුත් සිටින්දැයි විමසද්දී  ඔහුට   දක්නට ලැබුනේ ලඟ එන වසත්ත සෘතුවට සැරසෙන පළතුරු මල් පමණකි.

ඔහු නැවත් කෑම මේසයට පැමිණ ඔහුගේ අසුනට  බරවිය. මේසයේ කෑම පිළිවෙලට අසුරා තිබුනි.  ඒ අනරේ නැන්ඩ්‍රීස් ගේ ප්‍රියතම ආහාරයක් වන බ්‍රිල් මාළුවන් බැදුමද විය.

මුළුතැන් ගෙයි ප්‍රධාන සේවිකාව ක්‍රිස්ටීන් පැමිණ ක්‍රිෂ්ට ආහාර පාන පිළිගැන්නවාය.

“මම බලාගෙන ඉන්නේ අනිත් අය එනතුරු“ ක්‍රිෂ් කෑම ප්‍රතික්ෂේප කරමින් කීවේය.


මතු සබැඳි .........

at 7:47 AM 6 comments
Labels: ගැඹුරු දිය, පරිකල්පන

Thursday, March 8, 2012

මායාවී





පරිපුර්ණ ඉන්දුජාලිකයාගේ
අසම්පූර්න ආදරය ලඟ  ලතැවෙන 


පරිපූර්න නොවු යුවතිය


මායාවී..




අසමතුලිත ලෝකයේ පුරාවට
සමතුලිත සිත් සොයමින් මංවුලාවුන 


සමතුලිත සිතැත්තිය


මායාවී.... 
at 7:57 AM 8 comments
Labels: මායාවී
Newer Posts » Home
Subscribe to: Posts (Atom)

Labels

  • ගැඹුරු දිය (1)
  • පරිකල්පන (5)
  • මායාවී (2)

Blog Archive

  • ▼  2013 (1)
    • ▼  August (1)
      • මිතුරු ආදර කතාවක් (?)
  • ►  2012 (12)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  September (2)
    • ►  August (2)
    • ►  July (2)
    • ►  May (2)
    • ►  March (2)

Contributors

My Photo
Fantasm
View my complete profile
 
Copyright © මායාවී. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio