skip to main | skip to sidebar

මායාවී

Dreamer of Hallucination | මායාවේ සිහිනය දකින්නිය

Saturday, November 3, 2012

නිකැලැල් කැලැල්


වැහි පිහිල්ලේ  කාන්දුවෙන් පතිත වන තාවකාලික වැහි දියකඩිත්තේ චිරි චිරිය , ගිම්හානිට අති විශාල කංකරච්චලයකි. සියලූම ප්‍රාණි මුලයන්ගෙන් වසන්ව ඉන්නටැයි සිත ඉල්ලා සිටින  මොහොතක කඩාහැලුනු මේ  අදිසි වරුසාව දෙසට ඇය සිත පුරාවට රවාගෙන උන්නාය. වරුසාව පැරදවීමට දෙනෙතට හැකි උවත් සිදුවු සියල්ලෙහි ඝණපූර්ණය සලකා බලන කල, හඬ වැටෙනවාට වඩා සිතන්නට බොහෝ දේ ඉතිරිව තිබේ.  සෙන්ටිග්‍රෙඩ් අංශක ඍණ ගනනක් මතින් ගල්ගැසුණු කඳුලු බිඳු තෙන්කෙවෙනි යට සිටන් රිදුම් දෙන්නේ වුවත්, ලේහ පර්වතකයට දියබිඳු වට්ටවා මළනොබැඳිවිය හැකි හෙයින් ඇය දිගටම වැස්ස දෙසට රවාගෙන උන්නාය.

“මං යනවා...........” මෙතෙක් වේලා කැඩපත අභිමුවේ උරුවන් බාමින්  කෙහෙරුලි කැරලි කරමින් උන් අනුර ඔනෑවට එපාවට මෙන් කීවේය.

“ම්ම්ම්ම්ම්ම්” වැස්සට රවාගෙනම ගිම්හානි හූමිටි දුන්නාය.

“ඔකට ඉතින් ඔච්චර විරවන්න දෙයක් නෑනේ.. බලන්න බෑ මූණ කාලි යකින්න වගේ......”අවුල්ව ගිය සයනය මතින් වාඩි වූ අනුර ඇයගේ කම්මුල් තමා දෙසට හරවා ගනිමින් සරදම් කලේය.

“කෝලම් කරන්නේ නැතුව යන දිහාවක යනවද...” රතුවූ දෙනෙත් වලින් අනුර දෙස එක එල්ලේ බලමින් ගිම්හානි කෑ ගෑවාය.

“ගිම්මි..මේ!!! අවසාන වතාවට කියන්නේ..... කටින් හයිකාරකම් මට පෙන්නන් එන්න එපා.... මං කවුද කියලා දැන දැනමනේ තමුසේ මගේ කීමට කැමති උනේ...... අනික බං උඹව එක අතින් උස්සලා පොලවේ ගහන්න හයිය තියෙන මට උබේ ඔය චැක චැක කියවිල්ල නවත්තන්ඩ මහ ලොකු දෙයක් ඔනි නැ...  ” මහ හඬන් සිනාසෙමින් ගිම්හානිව නැවත සයනය මත පෙරලාගන් අනුර දෙතොල් පෙති තදින් සිප ඇයව තව තවත් වෙහෙසට පත් කලේය.

“යන දිහැක යනවා මනුස්සයෝ මේ ගෙදර මිනිස්සු එන්න කලින්...” අස්වාභාවිකව වේගයකින් අනුරව තම වතින් තල්ලුකල ගිම්හානි යලිත් කෑ ගැසුවාය.

“යනවා තමයි ..... ..!!!  මගේ ඇඳුම්  අපේ  කාමරේට ගිහින් දානවා...... පුළුවන්නම් සෝදලාම දානවා.....” අණකරමින් කාමරයෙන් පිටව ගිය අනුර දෙස ගිම්හානි හැඟුම් විරහිතව බලා සිටියාය.

ඇයට සයනයෙන් නැඟි සිටින්නට තවත් විනාඩි ගනනාවක් ගතවුනි. අවුල්ව ගිය කෙස් එක්ව ගුලියක් කොට සකසා ගත්තී රතු පැහැ සිමෙන්ති පොළව මත නිරුවත් දෙපා තබා වේගවත් ගැම්මකින් නැගී සිටින්නට උත්සහ කලාය.  එහෙත් කඳ පෙදෙස වාරු නැති වීමෙන් අය යලිත් සයනය මතටම කඩා වැටුනාය. එවිට ඇයටත් නොදැනී පෙර ගල්වී තිබුනු කඳුලක් නෙත් අග්ගිස්සසෙන්  රූරා අපිලිවෙල සයනය මතට වැටුනි.  
සැබැවින්ම එය එසේ වුයේ උඩුබැලි අතට වැතිරී උන් ඇය, රූටා ගිය කඳුල කන්පෙතිහරහා ගලා ගාම වලක්වනු පිනිස මදක් දකුණු ඇලයට හැරුණු නිසාවෙනි.

එකී කඳුල නිකරුනේ ගලායද්දී පොඩීවී අවුල්ව ගිය ඇඳ අතිරිල්ල රක්ත වර්ණ ගන්වා තිබූ පවිත්‍රත්වයේ කැලල දෙස මොහෙතක් බලාසිටි ඇය වියැලී ගිය කඳුලු අතරින් දස වසරක් ආපස්සට ගියාය.

~~**~~


පාසැල නිමාවී නිවසට පැමිණි ගිම්හානි. සුපුරුදු ලෙසින්ම නිල ඇඳුම ඇඟ දවටාගෙනම  දහවල් අහර පිසුවාය.  විඩිමහලු දෙසොහායුරන් පාසැල අවසන්ව පැමින ඇඟපත දොවා ගන්නා ඇසිල්ලට බතක් ව්‍යාංජනයක් පිලියම් කරන්නට තරම් දෙළොස් හැවිරිදි  ඇය සමත් වූවාය. අළුයමින් රුකියාවට යන පියා‍ගේත්, කාසි සොයා එතෙර ගිය මවගේත් රාජකාරී සියල්ලක්ම ගිම්හානිත් දෙසෙහොයුරන් අතරත් සමව බෙඳුනි.

“නංගී..... ඔය ඇති ඉව්වා.... කාමරේට ගිහින් ඉන්නවා.......මම ගිහින්   නැන්දව එක්කරන් එනකල් එලියට බහින්නෑ තේරුනාද..... ”  අහාර පිසීම අවසන් කරන්නටත් පෙර  කුස්සියේ උළුවස්සට බරවී උන් වැඩිමහලු සොයුරා අණ කරද්දී ගිම්හානි විපක්ෂිතව ඔහු දෙස බලා උන්නාය.

“උයලා ඉවර නෑ.......” විසල් දෑසින් සොයුරා දෙස බලමින් ගිම්හානි කීවාය..

“කමක් නෑ නැන්දා ඇවිත් උයයි.. යනවකෝ කිව්වම අහලා.......” යි කියමින්  සොයුරා දිවයද්දී කුඩා නැගනිය ඔහුට අවනත වුවාය.

දිනය හරි හැටි අමතක උවත් ඒ ගිම්හානි නම් ළදැරිය යුවතියක් වු දිනය බව ඇය හොඳින්  මතක තබාගෙන උන්නාය. ඇයව සුවඳැති පිච්චමල් වතුරෙන් නහවා කාබී විනොද වුනු නැදෑයින් නිවසින් පිටව ගිය පසු, යුවතිය තනිවම ජීවන සටන ඇරඹුවාය.

මාස්පතා රක්ත පැහැයෙන් වර්ණ ගැන්වෙන රෙදි කඩ බොහෝමයක් නිවැසියන්ගෙන්  සඟවන්නට වැසිකිලි වලට ගොඩ ඇය, යෞව්වන ජීවිතයේ අයනු ආයනු කියා දෙන්නට මවක් අසල නොවුනු කල ද්වීතීක ශාරීරික වෙනස්වීම් හමුවේ පිස්සියක මෙන් මනසින් විදෙව්වාය. එහෙත් අද වන තුරු ඇය පිවිතරුව උන්නාය.

ප්‍රාද්ශිය දේශපාලනයෙන් හිස විකාර කරගත් දෙසොහොයුරන් ඔවුන්ගේ මිතුරන් පවුල් පිටින්ම නිවසේ නවාතැන් ගන්වා  ගනිද්දී, ආගන්තුක මිනිසුන්ගෙන් දැස්වලින් ඇයගේ සුන්දරත්වය ඉඳුල් වත්දීත්, උපේක්ෂා සහගතව තුරුණු සිත මෙහෙයවාගත්  ඇය සිය කුමරි බඹසර රැකගෙන  දැඩි සිතින් උන්නාය.

එහෙත්,  අනංග නෙත්සර  සමඟින් හිත් මානයට එබිකම් කල අනුරට ඇගේ දැඩි කම වෙඩරුපිඩක්වන්ව දිය කර හරින්නට එක ස්වරයෙන් හැකීවීම මේ මොහොතේත් ඇය පුදුමයෙන් සිහි කලාය.

ප්‍රේමය නම් මායා දැලෙන් දෙනෙත් වැසී යද්දී,  නියාලු මකුළුදැල් මුස්නයකින් පිසදමන්නාසේ  තම සළුපිලි උනාලූ අනුර යෞව්වනත්වය උදුරා ගන්නා තුරුත් ගිම්හානි ඒ දෑසටම වශිවී  උන් බව සිහිකරමින් ඇයම යලි යලිත් පසුතැවුනාය.

ඇයට කෑ ගසා හඬන්නට උවමනා කර තිබුනි. පසුතැවීමක ආවේගය දියකර හරින්නට උවමනා කර තිබුණි.  ඒ සියල්ලටම වඩා නිරුවත් සිරුර රෙදි කඩකින් වසා ගන්නට උවමනා කර තිබුනි. එහෙත් ඒ කිසිවකට ඉඩ නොතබමින් අනුරගේ සිඟිති දියණිය පෙරපාසල් රැගෙන උදෑසන නිවසින් බැහැර ගිය අශානි නිවසට ගොඩවූ  බව වැටහී, මවගේ උණුසුමින් මිදෙන දියණිය තමා සොයා එන බව අත්දැකීමෙන් දන්නා ගිම්හානි,  අනුරගේ ඇඟලුම් සහ නිකැලැල් බවේ කැලැල් රුගත් ඇඳ ඇතිරිල්ලද ගුලිකොට ඇඳ යටට වීසි කර, අතට හසුවූ චීත්තයකින් විලි වසා ගත්තාය.

~~*නිමි*~~

at 5:33 AM
Labels: පරිකල්පන

7 comments:

සචිත් said...

හරිම අපුරුයි කතාව ගලාගෙන ගිය විදිහට මං පුදුමාකර විදිහට ආසයි,,

November 3, 2012 at 8:21 AM
Pasan said...

ම්ම්ම්ම්ම්....

November 3, 2012 at 8:52 AM
නාඩියා නාඩිරත්න said...

ඔහෝ..මේකයි සමාජ යථාර්තය....

November 3, 2012 at 9:34 AM
Fantasm said...

ස්තුතියි සචිත්!! :D

November 6, 2012 at 4:34 AM
Fantasm said...

ම්ම්ම්!

November 6, 2012 at 4:35 AM
Fantasm said...

ඇත්ත.. ඒත් දැන් මේ දේවල් ඒ හැටි දේවල් නෙවෙයි වගේ නේද... ??

November 6, 2012 at 4:37 AM
Anonymous said...

මොකටද වචන නාස්ති කරන්නේ ,
අතිවිශීෂ්ටයි

November 21, 2012 at 12:51 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

Labels

  • ගැඹුරු දිය (1)
  • පරිකල්පන (5)
  • මායාවී (2)

Blog Archive

  • ►  2013 (1)
    • ►  August (1)
  • ▼  2012 (12)
    • ▼  November (1)
      • නිකැලැල් කැලැල්
    • ►  October (1)
    • ►  September (2)
    • ►  August (2)
    • ►  July (2)
    • ►  May (2)
    • ►  March (2)

Contributors

My Photo
Fantasm
View my complete profile
 
Copyright © මායාවී. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio