ලෝකය අව්‍යාජ යැයි සිතාගෙනම සිටිමි. මම වෙනස් විය
යුතු නැත. ලොකයද වෙනස් නොවනු ඇත. එය මා තරයේ විශ්වාස කරමි.
එය සැබැම ලෝකයක් බව ආදරණිය පාඨක ඔබ දැන ගත
යුතුමය.
කුඩා නිවසක ඔහු හා පටන් ගත් පුංචි ලෝකය තුල මා තවමත්
සිරගතව සිටිමි. එය සැබෑවක් නොවුනු ඇත්තක් නමුත් එය මගේ ජීවිතය යැයි මම තරයේ සිතා
සිටිමි.
“ඔයාගේ විකාර
ඉවසලා මට පිස්සු වගේ දෝණි.... දැන්වත් වෙනස් වෙන්න...” අම්මා එසේ කියයි.
“එයාට අපිව වටින්නේ නෑ.. එයාට හොඳ එයාගේ මනෝලෝකේ විතරයි”ඒ අප්පච්චීය.
“මොලේ කොලොප්පන්
මෙයාට... මම කිව්වේ මෙයාට ඉස්සර ඉඳන් පොඩි මොලේ අමාරුවක් තිබුනා...” සිනානෙමින්මුත් මා එකම සොයුරා එසේ
කියයි...
“ඔය මොන විකාර
අදහස්ද... උඹ ඔය කන්ද නැගපන්.. පල්ලමකි ඒවි.. හැම දේම විසඳන්නේ කාලය...” හොඳම මිතුරන් එසේ සිත සනසයි.
එහෙත් මායාව...!!!! සැබැවින්ම එය ඇදහිය නොහැකි
තරම් නිහඬය. අන් කිසිවකටත් වඩා ඒ සොඳුරු
නිහඬතාවය තුල මා අතරමංව සිටිමි. ඒ මියුරු හුදෙකලාව භාවනාවක් මෙන් සන්තානය සුවපත්
කරන යුරු විඳින්නට මා කොතෙකුත් කැමැතිය.
ගමන් මල්ලට පුරවාගත් සියලු ආම්පන්න සමගින් උදෑසනම
මගට බසිමි. අරමුණක් නොමැතිව වුවද නොදන්නා අරමුණක් සොයා යන ගමනක තවත් එක් මගියෙකු
ලෙසින් අනෙක් මිනිසුන් අතරේ ගාටමින් ඇවිද යමි. මා ඇතැමුන්ට විකාරයක් සේ පෙනෙන බව
මා දනිමි එහෙත් එය මා හට එතරම් කරුණක් නොවේ. ඔවුන් එසේ කියන විට මම එවන්දෑ
සිනාවෙන් ඉවසා ගනිමි. ඔවුන් මාගේ මනෝ ලෝකය
නොදන්නා මෝඩයන් බව සලකා ඔවුන්ට අන්කම්පා
කරමි.
වැව් ඉවුර කෙදිනත් ජනයා ගැවසෙන තැනකි. නමුත්, තනි
මම හැමදාමත් වැව් ඉවුර දිගේ රස්තියාදුවේ යන්නේ තනිවමය. අවට මිනිසුන්ට මාගේ දසුන අරුමයක්
නොවන්නා සේම, නිතිපතා ඔවුන්ට පුදන අව්‍යාජවත් මදහස ද සුපුරුද්දකි.
ඒ සියල්ල සේම දිනපතා මා වාඩිවී සිටින ලී බංකුවද
මටම කියා සින්නක්කර අයිති කර දුන්නක් ලෙස මම භුක්ති විඳිමි.
නමුත් අද???
මට පෙර පැමිනි අයෙකු එහි වාඩි ගෙන සිටී. සැනෙකින්
සිතට දැනුනේ නොරිස්සුමකි.. මැය නම් මාගේ හුදෙකලාවට වින කරන්නට පැමිණි සැතිරියකි.
ඇතුළු හදවත ඇයට ශාප කරද්දී, බංකුවේ නිදහස් කෙලවරේ වාඩි ගෙන ඇය දෙසට රුව්වෙමි.
නමුත් ඇයට මා නොපෙනේ.. තම අවධානය පුවත් පතකට යොමා සිටි ඇය. මුහුණද පුවත් පතින්ම
ආවරණය කරගෙන සිටියි.
“අදත් අවා
නේද.....” නිහඬතාවය
බිඳිමින් ඇය විමසීය.
“මගෙන්ද
අහන්නේ.....” මම විමසිලිමත්
වීමි.
“ඔව්... ඔයාගෙන්
මායා.....” ඇය මා නමින්ද
හඳුනන්නියකි.
“ඔ..ඔව්...ඔ..ඔයා...
ක.. කවුද?” මම පුදුමයෙන්
ඇසීමි.
“ඔයා මාව අඳුනන්නේ නැහැ... කොටින්ම ඔයා මාව නොදන්න ගානට ඉන්නවා.....” ඇය කියු දේ මට අපබ්‍රන්සයක්ම විය.
“මොනවා... මම ඔයාව....?? මීට කලින් අපි හමු වෙලත් නෑ..ඔයාගේ හඬ මම අදමයි ඇහුවේ...”
“ඔව්..ඔයාට මගේ හඬ මීට කලින් අහන්න ලැබුනේම නෑ... මම ඉවසන් හිටියා.. මේතරම් දවසක්.. ඒත් අද....මම හිතුවා කතා කරන්න....”
“මොනවා.....ඔයා මාව ගොඩ කලක ඉඳන් දන්වාද?............ කොච්චර කලක්ද...මට ඔයා ගැන නිච්චියක් නැහැ....”
“ඔයා මාව මායිම් කරනේ නැති කොට කෙහෙන්ද මං ගැන නිච්චියක්.. මම දන්න තරමින් මමයි වැඩිපුරම කාලයක් ඔයාව හොඳින්ම දන්නේ....”
“විකාර.....!!”මම අපහාසාත්මක ලෙස සිනාසුනෙමි.
“ඔහොම හිනා වෙන්න එපා මායා.. මම අකමැතිම ඔයා ගොන් පාට හිනාවට...” ඇයි නොරිස්සුමින් කීවාය.
“මොකක්!! මගේ හිනාව ගොන් පාටයි????”
“ඔව්.. එහෙම
තමා... ඔයා දන්නේ නෑ ඔයා මොනවද කරන්නේ කියලා.. ඔනි මෝඩ වැඩක් කරලා දාන්නේම ඔය
හිනාව.... මට ඔයා එපා වෙලා තියෙන්නෙ ඒක නිසාමයි...”
“හහ් හහ්හා!!! ඔයාට මාව එපා උනාට මටනම් කිසිම ප්‍රශ්ණයක් නෑ... මොකද මට ඔයාව ඔනි නෑ... ඔයා වගේ නන්නාදුනන කෙනක්ව කොහොමත් මට වටින්නේ නෑ...” මම නපුරු හඬකින් කීවෙමි.
“එපා උනා කියලා දාලා යන්න බෑනේ... අනෙක.. ඔයා හිතාගෙන ඉන්නේ ඔයා මනෝලෝක වල මවාගෙන ඉන්න අයට ඔයාව ඔනි කියලාද?... මොන තරම් විකාරයක්ද මායා... ඔයාගේ වටේ ඉන්න හැමෝටම ඔයා වද දෙනවා.. විකාර ලෝකයක් හදාගෙන..” ඇය සමච්චල් සහගත ලෙස කියයි. මම විපිලිසර වුනෙමි.
“ඔයා කොහොමද මගේ මනෝ ලෝක ගැන දන්නේ... විකාර නොකියා ඉන්න....අනික දන්න දෙයක් කතා කරන්න... මගේ ලොකේ ගැන දන්නේ මම විතරයි....”
“හපොයි.... ඇති වෙලා මට... ඔයාගේ විකාර ලොකේ.... පුංචි ඇනෙක්ස් එකක්, ඔයයි ඔයාගේ හීන කුමාරයයි.... හහ්හා හා හා අර කවදාවත් සඳුලු තලෙන් බැහැලා ඔයාව පිලිගන්න අකමැති හීන කුමාරයා... අන්න එයා... එයා ඇවිත් පුංචි රස්සාවක් කරනවාලු.. ඔයාලාට පොඩි බබෙකුත් ඉන්නවාලු... හරි සතුටින් ජීවත් වෙනවාලු.... මායා... මායා... මායා.... හිත ඇතුලේ ඔය වගේ ලස්සන කතා ඔනි තරම් ගොතා ගන්න පුළුවන්.. ඒත් හැබෑව ඊට වඩා ගොඩක් දරුණුයි.. සාහසිකයි.... හහ්හ් හා හා!!!”
සමච්චල් හසගත සිනාවත් සමඟින් මගේ මනෝ රාජ්‍යය
වාක්‍ය කිහිපයකින් සංරාංශ කල ඇය දෙස මාදෙනෙත් විසල් කොට ගෙනබලා සිටියෙමි.
“ඔහොම බලන්න එපා.. මම ආස නෑ.. ඔයා ඔය තරමට බොළඳ වෙනවාට... ඔයා බැරිනම් ඇත්ත තේරුම් ගන්න.. මට ඉඩ දෙන්න ඒක ඔයාට තේරුම් කරන්න.....”අවසන ඇය සාවදානව කීවාය...
“එහෙම කරන්න ඔයා කවුද....?” යමක් ඇසිය යුතු නිසාම ඇසීමි.
“මම ඔයාමයි!” ඒ උන්නේද මායාවීම විය.
6 comments:
නියමයි !
විශිෂටයි ! ලස්සනයි.සුබපතනවා ඉදිරියට ලියන්න .....
හ්ම් වැඩේ හොඳයි දිගටම ලියමු !
අදමයි මේ පැත්තට අවේ ලස්සනයි අයෙමත් එන්නම් වසන්තයක්ම උදා වේවා ........
මායා මායා කියලා මොහිඩින් බෙග්ගේ සින්දුවක් තියෙනවා මට ඒක මතක් උනා...
ලස්සනයි.. හරිම අපූරුයි මායාවී...
Post a Comment