skip to main | skip to sidebar

මායාවී

Dreamer of Hallucination | මායාවේ සිහිනය දකින්නිය

Tuesday, August 21, 2012

සිත්තරා මත් කලෙමි!


කලාකරුවන් විටෙක මහවරුසාවක් වැනියැයි  කුඩාකල සිටන් මා විශ්වාස කලෙමි.  නමුදු ඒම විශ්වාසය ඔහු එක ක්ෂනයකින් බොඳ කලේය.  නොදැනෙන්නට වියලි බිම් තෙත් කරන මන්දාරම් පොඳ වැස්සක් ලෙසින් ඔහු නිහඬ කෙනෙකු විය.

සෞන්දර්‍ය නිකේතනෙය් උද්‍යානය පුරා කිංකිණි හඬ නංවන යුවතියන් අතරින් වුවද ඔහු පැමිණියේ විශ්වයම හිස මතා තබාගෙන සිටින්නකු  මෙන්ම මහත් වු කල්පනාවකිනි.  ඔහු සිත්තරෙකි,  එපමනක් විශ්වාස කරමි. ඔහු නවක ගුරුවරයෙකු බව සිතා මතා අමතක කරමි. අවසන් වසරේ සිසුවියන්  වුවද තවමත් සිඟිත්තියන් මෙන්  විවේක කාලය පුරාවට  බොගන්විලා පඳුරු අස්සේ සිටන් කැකෝ ගසමින් සමනලියන් මෙන් සැරිසරන අප, ඔහුගේ නිසසල විවේකයට බාධාවක් වන්නට ඇත. සිත් මතාම උවමනාවට වඩා කෑගැසීමි. සිනාසුනෙමි. මොහොතකට ඔහුගේ අවධානය කැන්වස් රෙද්දනේ මුදවාගැනිමේ ගැහැණු ආශාවකින් මා පෙළුනෙමි. සැබෑවනම්. ඔහු පැමිණ දින දෙකට මාගේ දෙනත් බොහෝ දුරකට ඔහු පසුපස දිව ගසේ ඇත.

කෙතරම් සිනා හඩ උස් කලද ඔහුගේ වැඩයට අප බාධාවක් නොවුනි. එනිසාම  ඔහුට බාධාකිරීමේ උවමනාව දැඩිවින. සියලු දඟකාරකම් නවතා මොහොතක් ඔහු දෙසම එක එල්ලේ බාල උනිමි. අරුමයකි. ඔහු හැරී බැලුවේය. දඟාකාරකම නෙතු තවරා බලා උන් බැල්මට එක්වර ඇස් අහක ගන්නට අපොහොසත් උනෙමි. සැනෙකින් ඒ දැසෙහි රුඳුනේ උපහාසාත්මන සිනහවකි. සැබැවින්ම ජයග්‍රහණය ඔන්න මෙන්න තිබියදි එකම බැල්මකින් ඔහු මා අන්ත පරාජයකට ඇද දැමුවේය.

සිතන්නට මොහොතක් ඉඩ නොතබා පන්තිකාමරය වෙත පිම්මේ දිව ගියෙමි.

**~~~**

“උඹ මාර මනුස්යෙක්නේ....... නෑ නෑ කතා කරන්න ඔනි නැහැ...ආයේ ඒ ගැන හිතන්න ඔනෙත් නැහැ.. උඹ අද හවස් වෙද්දි ආවේ නැතිනම්  අපි දෙන්නාගේ යාළුකම් ඉවරයි... පාරක දැක්කට මුණ බලන්නේ නැ මම.. උඹ දන්නවානේ මගේ හැටි.....”

උදෑසනින්ම ලොකු අයියා දුරකනතය ඔස්සේ නෝක්කාඩු කියයි. ඒ ඔහුගේ මිතුරෙකුට විය හැක.. නෑසුකන්ව පඩිපෙල බැස වැලි පාර දිගේ කලායතනය දෙසට ඇදුනෙමි.මිතුරියන් පැමිනෙන්නට බොහෝ වෙලා ඇති නමුත් කලායතනය ආසන්නයේම සිටින මා නිරතුරුවම වේලාසනින් කලායතනයට යන්නෙමි. නිවසේ සිටින වේලාවන්ට වඩා මා කාලය ගත කනරනේ කතායතනයේ බව අම්මාගේ සුපුරුදු නොක්කාඩුවකි.
බොගන්විලා පඳුරු අතරින් ගේට්ටුව දෙසට දෑස් දිව යන්නට ඇත්තේ කීවැනි වතාවටදැයි නොදනිමි. ඒ දැස සොයන්නේ සුපුරුදු ලෙස මිතුරියන් නොවන බව සක්සුදක්සේ දනිමි. එහෙත් දේශන පටන්ගන්නාතුරුත් ඒ පිරිමි රුව ගේට්ටුව දෙසින් මතුනොවිනි. ඇතැමිවිට  අද සති අන්තයේ දිනක් නිසා විනැයි සිතා ඉවසුවෙමි.

වෙනදා කෙලිලොල් බව  මා  කෙරෙන් වියැකි ඇති බවට මිතුරියන් චෝදනා කලහ.  ඒ සියලු චෝදනා වියලි සිනහවකින් ඉවසුවෙමි. වෙනදා නැති ඉක්මනකින් ගෙදර දුවන්නට සිතුනි. එහෙත් ලි පාරේ ඇවිදින විට මට හොරන් මගේම වේගය බාලවී ඇත. කලායතනයට දඟකාරිය නමුත් නිවසට මම හා පැටියෙකු තරමට අවිහිංසකාවියක් වුනෙමි. විටෙක ඒ දෙබිඩි බව සිත රිදවුවද නිවසේදි දඟකාරකම් කරන්නට තරම් හේතුවක් හෝ කෙනෙකු මා අසල නොවීය.

විවාහවු අයියාත්  දරුදෙදෙනෙකුගෙන් යුත් ඔහුගේ  සුන්දර පවුලත්, පින් දහමට ලැදිව ජීවත් වන  වියපත් අම්මාත් සමඟ ගෙවන දිවියේ මා හුදෙකලා ප්‍රාණියෙක් පමණක්ම විය. කුඩාවුන්ට සිත බැඳි තිබුනද නැනණ්ඩියගේ ගුප්ත චරිත විලාශයන් අභිමුව දරුවන්ට සමීපවන්නට නොකැමතිවීමි. එනිසා නිවෙස මට අම්බලමක් පමණක්ම විය.
නමුත් අද සිනව වෙත දුවන්නට සිත මෙතරම් බලකරන්නේ මන්ද. යලි උපන් දගකාරිය මතින් වේගයෙන් ගල්පඩිපේලිය ගැන ගියෙමි.

“පොඩි නංගී.............”  පසෙක වු සමන්පිච්ච ආරුක්කුව යට ලී බංකුව දෙසින් අයියාගේ හඬ ඇසුනි. 

එදෙසට විමසිලිමත් දෑස යොමද්දී දෙනෙත් විසල් වු වේගයෙන්ම ගතද දහදියෙන් තෙමී ගියේය.. දෙවියනි අදහන්නේ නම් කෙලෙසකද.. අයියා සමඟ බංකුවේ පසෙක වාඩි වී උන්නේ ඔහුයි!

“මේ  මාධව... මගේ  කැමපස් එකේ යාළුවෙක්.  ඔයාලාගේ කාලායතනෙට අළුතින් පත්වීමක් අරන් ඇවිත්..”

මා දනනා තොරතුරුම කියා අයියා ඔහුව හඳන්වා දුනි. සිනාසෙන්නට අමතක ව ඇති නමුත් බලහත්කාරයෙන් සිනාවක් නගා ගතිමි.

“මචං මේ  අපේ පොඩි නංගි.. ලොක්කි බැඳිලා දැන් අවුරුදු දෙකයි.. මේක තාමත් නැටුම් ඉගෙන ගන්නවා... කලායතනේ එයාට ගෙදර වගේම තමයි. උඹට හුරු වෙනකල් කරවගන්න තියෙන වැඩක් මෙයාට කියලා කරවගනින්”

අයියා මිතුරාට මා හඳුන්වා දුනි. සැනෙකින් මෙතැනින් ගැලවී යන්ට මා හට උවමනා විය. පසුගිය දින කිහිපයේ ඔහුට කලහිරි හැරයන් කිවහොත් අයියාගෙන් බැනුම් ඇසීමට සිදුවනවා නියතය. ආගන්තුක සිනාවම යලිත් පුද කර හෙමි හෙමින් පඩි පේලියේ ඉතිරි අඩද නිම කර විගස කාමරයට වැදුනෙමි.

“මොකෝ මේ ආව ගමන් ඇඳ බදාගෙන... ඇඟපත සොදගෙන ඇඳුම් මාරු කරන් කුස්සිට ගිහින් අර අක්කට උදව් කරන්න පොඩි දුව... දැන් වෙනදා වගේ පැය ගානක්  ලත වෙවී ඉන්න බැහැ.. අද ඉඳන් ඔන්න අයියාගේ යාළුවෙක් ඇවිත් මෙහේ නතර වෙන්න... ඔයාලෑයේ  කලායතනෙමලු  වැඩ කරන්නේ...” අම්මා උළුවස්සට බරදීගෙන කීවාය.

“හ්ම්ම්ම්ම්ම්ම්” මා වියලි  ලෙස සුසුමක් හෙලීමි. සිතුවිලි ඕත්පලවී ඇත. අද සිටන් ඔහු අප නිවසේ සිටින බව වන පුවතක්. කුමක් සිතුනාදැයි මතක් කරනනට මේ මොහොතේ මා අපොහොසත්  නමුත්, හදවත කුල්මත් වු සෙයක් දැනුනු බව සැබෑවකි.

**~~~**

කාලය ඉබිගමන් යද්දි ඔහු අපේම නිවැසියෙකු විය.  නමුත්, කිසි විටෙක අප දෙදෙනා කතා නොකලෙමු. එකම වහලක් යට ආගන්තුකයින් වුවා මෙන්ම කලායතනය තුලදීද අපි නන්නාදුනන්නන් වීමට උත්සහ කලෙමු.
නමුත්. සිතුවිලි හැමවිටම ඔහු සමඟම විය. මට කලින් උදෑසන අවදි වන ඔහු සමන් පිච්ච ආරුක්කුව යට සිටන් උදෑසන තේ කොප්පය පානය කරයි. අයියාද ඔහු සමඟ සිටින් බැවින් නෙත් කැළුම් හෙලිය යුත්තේ රහසිනි.
  කිසිවිටෙකත් මා හා සමාන්තර වෙලාවක ඔහු නිවසින් පිට නොවෙයි.  සිතා මතා මා පමා වන බව හැඟුනු විට  ඔහු විගස පිටවී වේගයෙන් කලායතනය කරා යයි. නැතහොත් බොහෝ විට ඔහු පැමිනෙන්නේ මා පිටවී බොහෝ  වේලාවකට පසුවයි.

ඔහු මා ගනනකට නොගන්නා බව මසිත මටම වදදෙමින් පවසන කරුනක් විය.නමුත් ඔහු පිළිබඳ සිතුවිලි සිතට නැගෙන විටි සිතිවිලි ඉමට වැටි බදින්නට මා අපොහොසත් උනෙමි. සිත රිදවා ගැනීමේ නිමාවක් දකින්නට දැඩිලෙස උවමනා වුනි නමුත් සිතුවිලි සමඟ තරඟ කරන නිමේශයන් වේදනාවෙන් මිසක අනි ලෙසකින් නිමා නොවිනි.
අයියාගේ පොඩි දරුවන්ට  සිතුවම් කලාවට මුල් පොත් කියා  දෙමින් ඔවුන් හා  කෙලිදෙලන් ඔහුගේ සවස් යාමය ගෙවී යයි. මසිත සියුම් ඉරිසියාවකින් පෙලෙත් මුත් ඔවුන් හා එක් නොවන්නට තරම් මා සිතුවිලි වලින් මාන්නක්කාරියක වී සිටිමි. නමුත් කොහේ හෝ ඔවුනට පෙනෙනෙ ඉසව්වක සිටින්නට නිතරම වග බලා ගනිමි. ඒ නිහඬ ආතමය මගේ කර ගත යුතුය.. එහෙත්  තවමත් මඟක් නොදනිමි!

වරෙක් ඔහු පුංචි උන් හා මිදුලේ තණ බිස්සේ වාඩිගෙන සිතුවම් අඳිමින් උන්නේය. මිදුල කෙලවර ඔවුන පැහැදැලිව පෙනන ඉදව්වක වු ඔන්චිල්ලාවේ වාඩවී  පොතක් කියවන බවක් මවා පැවෙමි. සැබැවින්ට පොතෙහි වු අකුරු බොඳ වී ඒ අතර සිහින මාලිගා මැවෙමින් තිබුනි.  අවධානය ඔවුන්ගේ කතාබහ තුලම තිබි නිසාදෝ  ඔහු එතැනින් ඉවත්ව කාමරයට ගිය බව සැනෙන් තේරුම් ගන්නට හැකිවුනි.
විගස පොඩි දෙදෙනා අතරට ගොස් ඔහුගේ සිතුවම් පොත බැලිමේ ආශාවකින් මසිත ගිනි ඇවිලුනි. ඔහු සිත්තරෙකු බව දැන සිටි නමුත් ඔහුගේ ඇඟිලි තුඩු නිමැවු සිතුවමක් මෙතුවකට දැක නොමැත්තෙමි.

කඩිසර බවත් ක්ෂුක්ෂම බවත්  වේගයක් අතර ගතවුනු නිමේශය පොඩි දෙදෙනාටත්  නොපෙනී ඔහුගේ සිතුවම්  කොල කිහිපයක් සොරා ගැනීමේ කාර්‍යයට මහඟු රුකුලක් විය.
රටක් රාජ්‍යයක් ජයගෙන එන වීර සෙබලියක් මෙන් සිතුවම් කොල කිහිපයත් රුගෙන කාමරයට වැදුනු මා දොර තදින් වසා සයනයෙහි දිගෑදුනෙමි.. නිදහසේ විඳින්නට අතට ගත් සිතුවම් මගේ සැනසුමේ නිදහස සීමා කරලීය.


දෙවියනි... මා සිතුවිලි වලින් සිත්තරා මත්කලේ  නොවේද.... කිසි විට මා නොසිටි ඉරියව්වකින් මගේ රුව ඔහු මවා ඇත.....!!!!!



පසු සටහන...
සිතුවම උපුටා ගත්තකි!
at 10:36 PM 8 comments

Saturday, August 18, 2012

හමුව -confront


ලෝකය අව්‍යාජ යැයි සිතාගෙනම සිටිමි. මම වෙනස් විය යුතු නැත. ලොකයද වෙනස් නොවනු ඇත. එය මා තරයේ විශ්වාස කරමි.
එය සැබැම ලෝකයක් බව ආදරණිය පාඨක ඔබ දැන ගත යුතුමය.
කුඩා නිවසක ඔහු හා පටන් ගත් පුංචි ලෝකය තුල මා තවමත් සිරගතව සිටිමි. එය සැබෑවක් නොවුනු ඇත්තක් නමුත් එය මගේ ජීවිතය යැයි මම තරයේ සිතා සිටිමි.

“ඔයාගේ විකාර ඉවසලා මට පිස්සු වගේ දෝණි.... දැන්වත් වෙනස් වෙන්න...” අම්මා එසේ කියයි.

“
එයාට අපිව වටින්නේ නෑ.. එයාට හොඳ එයාගේ මනෝලෝකේ විතරයි”ඒ අප්පච්චීය.

“මොලේ කොලොප්පන් මෙයාට... මම කිව්වේ මෙයාට ඉස්සර ඉඳන් පොඩි මොලේ අමාරුවක් තිබුනා...” සිනානෙමින්මුත් මා එකම සොයුරා එසේ කියයි...
“ඔය මොන විකාර අදහස්ද... උඹ ඔය කන්ද නැගපන්.. පල්ලමකි ඒවි.. හැම දේම විසඳන්නේ කාලය...” හොඳම මිතුරන් එසේ සිත සනසයි.

එහෙත් මායාව...!!!! සැබැවින්ම එය ඇදහිය නොහැකි තරම් නිහඬය.  අන් කිසිවකටත් වඩා ඒ සොඳුරු නිහඬතාවය තුල මා අතරමංව සිටිමි. ඒ මියුරු හුදෙකලාව භාවනාවක් මෙන් සන්තානය සුවපත් කරන යුරු විඳින්නට මා කොතෙකුත් කැමැතිය.

ගමන් මල්ලට පුරවාගත් සියලු ආම්පන්න සමගින් උදෑසනම මගට බසිමි. අරමුණක් නොමැතිව වුවද නොදන්නා අරමුණක් සොයා යන ගමනක තවත් එක් මගියෙකු ලෙසින් අනෙක් මිනිසුන් අතරේ ගාටමින් ඇවිද යමි. මා ඇතැමුන්ට විකාරයක් සේ පෙනෙන බව මා දනිමි එහෙත් එය මා හට එතරම් කරුණක් නොවේ. ඔවුන් එසේ කියන විට මම එවන්දෑ සිනාවෙන් ඉවසා ගනිමි.  ඔවුන් මාගේ මනෝ ලෝකය නොදන්නා  මෝඩයන් බව සලකා ඔවුන්ට අන්කම්පා කරමි.

වැව් ඉවුර කෙදිනත් ජනයා ගැවසෙන තැනකි. නමුත්, තනි මම හැමදාමත් වැව් ඉවුර දිගේ රස්තියාදුවේ යන්නේ තනිවමය. අවට මිනිසුන්ට මාගේ දසුන අරුමයක් නොවන්නා සේම, නිතිපතා ඔවුන්ට පුදන අව්‍යාජවත් මදහස ද සුපුරුද්දකි.
ඒ සියල්ල සේම දිනපතා මා වාඩිවී සිටින ලී බංකුවද මටම කියා සින්නක්කර අයිති කර දුන්නක් ලෙස මම භුක්ති විඳිමි.
නමුත් අද???
මට පෙර පැමිනි අයෙකු එහි වාඩි ගෙන සිටී. සැනෙකින් සිතට දැනුනේ නොරිස්සුමකි.. මැය නම් මාගේ හුදෙකලාවට වින කරන්නට පැමිණි සැතිරියකි. ඇතුළු හදවත ඇයට ශාප කරද්දී, බංකුවේ නිදහස් කෙලවරේ වාඩි ගෙන ඇය දෙසට රුව්වෙමි. නමුත් ඇයට මා නොපෙනේ.. තම අවධානය පුවත් පතකට යොමා සිටි ඇය. මුහුණද පුවත් පතින්ම ආවරණය කරගෙන සිටියි.

“අදත් අවා නේද.....” නිහඬතාවය බිඳිමින් ඇය විමසීය.

“මගෙන්ද අහන්නේ.....” මම විමසිලිමත් වීමි.

“ඔව්... ඔයාගෙන් මායා.....” ඇය මා නමින්ද හඳුනන්නියකි.

“ඔ..ඔව්...ඔ..ඔයා... ක.. කවුද?” මම පුදුමයෙන් ඇසීමි.

“
ඔයා මාව අඳුනන්නේ නැහැ... කොටින්ම ඔයා මාව නොදන්න ගානට ඉන්නවා.....” ඇය කියු දේ මට අපබ්‍රන්සයක්ම විය.

“
මොනවා... මම ඔයාව....??  මීට කලින් අපි හමු වෙලත් නෑ..ඔයාගේ හඬ මම අදමයි ඇහුවේ...”

“
ඔව්..ඔයාට මගේ හඬ මීට කලින් අහන්න ලැබුනේම නෑ... මම ඉවසන් හිටියා.. මේතරම් දවසක්.. ඒත් අද....මම හිතුවා කතා කරන්න....”

“
මොනවා.....ඔයා මාව ගොඩ කලක  ඉඳන් දන්වාද?............ කොච්චර කලක්ද...මට ඔයා ගැන නිච්චියක් නැහැ....”

“
ඔයා මාව මායිම් කරනේ නැති කොට කෙහෙන්ද මං ගැන නිච්චියක්.. මම දන්න තරමින් මමයි වැඩිපුරම කාලයක් ඔයාව හොඳින්ම දන්නේ....”

“
විකාර.....!!”මම අපහාසාත්මක ලෙස සිනාසුනෙමි.

“
ඔහොම හිනා වෙන්න එපා මායා.. මම අකමැතිම ඔයා ගොන් පාට හිනාවට...” ඇයි නොරිස්සුමින් කීවාය.

“
මොකක්!! මගේ හිනාව ගොන් පාටයි????”

“ඔව්.. එහෙම තමා... ඔයා දන්නේ නෑ ඔයා මොනවද කරන්නේ කියලා.. ඔනි මෝඩ වැඩක් කරලා දාන්නේම ඔය හිනාව.... මට ඔයා එපා වෙලා තියෙන්නෙ ඒක නිසාමයි...”

“
හහ් හහ්හා!!! ඔයාට මාව එපා උනාට මටනම් කිසිම ප්‍රශ්ණයක් නෑ... මොකද මට ඔයාව ඔනි නෑ... ඔයා වගේ නන්නාදුනන කෙනක්ව කොහොමත් මට වටින්නේ නෑ...” මම නපුරු හඬකින් කීවෙමි.

“
එපා උනා කියලා දාලා යන්න බෑනේ... අනෙක.. ඔයා හිතාගෙන ඉන්නේ ඔයා මනෝලෝක වල මවාගෙන ඉන්න අයට ඔයාව ඔනි කියලාද?... මොන තරම් විකාරයක්ද මායා... ඔයාගේ වටේ ඉන්න හැමෝටම ඔයා වද දෙනවා..  විකාර ලෝකයක් හදාගෙන..” ඇය සමච්චල් සහගත ලෙස කියයි. මම විපිලිසර වුනෙමි. 

“
ඔයා කොහොමද මගේ මනෝ ලෝක ගැන දන්නේ... විකාර නොකියා ඉන්න....අනික දන්න දෙයක් කතා කරන්න... මගේ ලොකේ ගැන දන්නේ මම විතරයි....”

“
හපොයි.... ඇති වෙලා මට... ඔයාගේ විකාර ලොකේ.... පුංචි ඇනෙක්ස් එකක්, ඔයයි ඔයාගේ හීන කුමාරයයි.... හහ්හා හා හා අර කවදාවත් සඳුලු තලෙන් බැහැලා ඔයාව පිලිගන්න අකමැති හීන කුමාරයා... අන්න එයා... එයා ඇවිත් පුංචි රස්සාවක් කරනවාලු.. ඔයාලාට පොඩි බබෙකුත් ඉන්නවාලු... හරි සතුටින් ජීවත් වෙනවාලු.... මායා... මායා... මායා.... හිත ඇතුලේ ඔය වගේ ලස්සන කතා ඔනි තරම් ගොතා ගන්න පුළුවන්.. ඒත් හැබෑව ඊට වඩා ගොඩක් දරුණුයි.. සාහසිකයි.... හහ්හ් හා හා!!!” 

සමච්චල් හසගත සිනාවත් සමඟින් මගේ මනෝ රාජ්‍යය වාක්‍ය කිහිපයකින් සංරාංශ කල ඇය දෙස මාදෙනෙත් විසල් කොට ගෙනබලා සිටියෙමි.

“
ඔහොම බලන්න එපා.. මම ආස නෑ.. ඔයා ඔය තරමට බොළඳ වෙනවාට... ඔයා බැරිනම් ඇත්ත තේරුම් ගන්න.. මට ඉඩ දෙන්න ඒක ඔයාට තේරුම් කරන්න.....”අවසන ඇය සාවදානව කීවාය...


“
එහෙම කරන්න ඔයා කවුද....?” යමක් ඇසිය යුතු නිසාම ඇසීමි.


“
මම ඔයාමයි!” ඒ උන්නේද  මායාවීම විය.

at 9:55 AM 6 comments
Newer Posts » « Older Posts Home
Subscribe to: Posts (Atom)

Labels

  • ගැඹුරු දිය (1)
  • පරිකල්පන (5)
  • මායාවී (2)

Blog Archive

  • ►  2013 (1)
    • ►  August (1)
  • ▼  2012 (12)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  September (2)
    • ▼  August (2)
      • සිත්තරා මත් කලෙමි!
      • හමුව -confront
    • ►  July (2)
    • ►  May (2)
    • ►  March (2)

Contributors

My Photo
Fantasm
View my complete profile
 
Copyright © මායාවී. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio