skip to main | skip to sidebar

මායාවී

Dreamer of Hallucination | මායාවේ සිහිනය දකින්නිය

Tuesday, August 20, 2013

මිතුරු ආදර කතාවක් (?)

සුනීල ජල තලයක රඟන හංසයිනගේ හැඩතල රේඛාවන් මිනිස් හැඩතල සඟවා කුලුගන්වන්නට බොහෝ සේ වෙහෙසී උන්නෙමි. මාස ගනනාවක් පුහුණු වී හෙටවන් දිනයක කලඑලි දක්වන්නට සුදානම්වන හංස විල අභිරංගනයේ ප්‍රධාන  භූමිකාව රඟන්නිය ලෙස අවසන් පෙරහුරුවත් අවසානයේ වේදිකාව කෙලවරට ගොස් වාඩි වුනෙමි.  සිසිල් දිය බිඳැති ගලනාලය හිරිවට්ටමින් හිස් අමාශය පුරවන අතරතුර දිනය තිස්සේම පසෙකලා තිබූ ජංගම දුරකතනයේ තිරය දල්වා බැලීමී.

එලෙස අමතකව සිට නැවත අතට ගන්නා සෑම විටකම මෙන් කවත් එක් කෙටි පණිවුඩයක් සටහන්ව ඇත.

U’r practicing hard neh  my nangi patiyo ?
but I wont com sudu. mata balanna baha eka :(

දැස් දවාලන ඒ කෙටි සටහනට හැඩුම් මුහුණකින් පමණක් ප්‍රතිචාර දක්වා  ඉහල වේදිකාවේ හිස් බිත්තියකට පිටදී බරට සුසුමක් හෙලීමි.  ජීවිතය මඟහැරී යනවාවත්ද???

“ මායා අක්කී.. පොඩ්ඩක් එන්නකෝ... “ දැහැන බිඳ දැමුවේ නිශ්පාදක කමිටුවේ කුලුපඟ මිතුරෙකි.. එසේ කියා හැරී යන ඔහු පසුපසින් වැටි කුතුහලයෙන් යුතුව ගමන් ගතිමි. පාළු වේදකාවේ අඳුරු කෙලවරක නැවතී ඔහු මාවෙත හැරී බැලුවේය.

“වැදගත් රහසක් කියන්න.. ඔයා වටේම කට්ටිය නිසා මං ආවේ.. “

“මොකක්ද මල්ලී......?“  අඳුරේ වුවත්  වෙහෙසකර දැස් විමතියෙන් බබලන්නට ඇත.

“තාරක අයියාට ඔයා ගැන ක්‍රශ් එකක් තියෙනවාලු... දැන්  ගොඩක් දවස් ඉඳන්....... කියන්නවත් ඔයාව අල්ලගන්න විදියක් නැහැනේ...“
ඔහු නිදහසේ කියා දමද්දි සිතේ නිදහස නැති  වූ වගක් කෙලෙසනම් කියන්නද? මම ගොළුවන්වම බලා උනිමි.


“ඔයා මොකක්ද කියන්නේ...? එයාට කෝල් කරන්න කියන්නද ඔයාට....“ පිලිතුරක් අසන්නට ඔහු ඉන්නේ පුදුමකාර හදිස්සියකිනි.

“මේක ජීවිතේනේ ළමයෝ... එහෙම එකපාරටම කොහොම කියන්නද? අනෙක ප්ලීස් මට කෝල් කරනන් එපා කියන්න.. මට බැහැනේ ගෙදර  උනත් කතා කරන්න..“

“ හරි.. ඔයා හිතලා එයාට කියන්නකෝ.. හෙට ශෝ එකෙන් පසසේ නිවාඩු... ඔයාට ගෙදරින් ප්‍රෙපෝසල් බලන නිසා මේ පරක්කු කරන්නත් බැහැනේ..“

“හ්ම්ම්ම්ම්ම්“ ගැඹුරු හුස්මක් සමඟ ලය සැහැල්ලු තර ගැනීමේ තැතක් දැරුවෙමි.

ඉන්මතුවට සංදර්ශණය නිමාවන තුරුත්  තාරකගේ දෑට හසු නොවී ඉන්නට මා තරයේ වග බලා ගතිමි.  මන්ද මිතුරු කමක් පෙමක් ලෙස ගොඩනංවන්නට හෝ. ඔහුට මුහුන දෙන්නට තරම් සැබෑ ආත්ම ශක්තියක් මා කෙරේ නොවීමයි.

නමුත් අභිරංගය නිමාවේ මා වටකොටගත් සියල්ලන් නික්ම යනතුරුම හිස් ශාලාවේ කෙලවර බංකුවකට බරදී උන් රුව හොරැසට නෙත ගැටුනු වාර බොහෝවිය. මොහොතකින් එළබෙන්නට යන ඒ නිමේශයට බයෙන් මම මුහුණ රතු කරගෙන උන්නෙමි.

“congratulations Maya you look pretty!!  and  performance of yours are flamboyant  !!

ඔහුගේ සුරතට කොටුවුනු සුරත මිරිකමින් තාරක මුමුණද්දී  දැල්වෙන දෑසින් මිදෙන්නට පසෙකට නෙත් හැරවීමි.

“ කතා කරන්න බැරිනම් අඩුම තරමේ මම එවන මැසේජ් එකකටවත් රිප්ලයි කරන්න මායා... ප්ලීස්... “ සුරත අත්හැර පසු කර යද්දී රහසින් මෙන් මුමුණා තාරක නොපෙනී ගියේය.




 අතරතුර කාලය  බොහෝසෙයින් සිත රිදවන්නක් විය. ලෝකයම නැතිවී සුසුම් හෙලන්නියක් ලෙස විටෙක හීල්ලුවෙමි.
ආදරයෙන් තුරුලු කරගත් දේ  මටත් නෙදැනී  දෑතේ ඇඟිලිකරු අතරින් ගිලීහී යෑම නවතා ගන්නට බැරිව ලතවෙන ලදැරියක් සේ හැඩීමී.
මිනිත්තුවක් පාසා නද දෙන ජංගම දුරකතනයට පිලිතුරු දෙන්නට අවසානයේ සිතුවිලි සවිමත් කරගතිමි.

“කියන්න මගේ අයියේ...“

“ඇති යන්තම් දෙවියනේ.... දැන් දවස් කීයක්ද.... දන්නවා දුකයි කියලා.. ඒත් ඔහොම එකපාරට යන්න පුළුවන්ද මගේ නංගෝ....“

“යන්න බෑ... කොහොමත් බෑ... ඒත් ඉන්නත් බැහැනේ මගේ අයියේ.. අමාරුවෙන් යන්නම ඔනි....“

“හ්ම්ම්ම්ම්...... ඉ....ති.....න්.......... කියන්....න“  මා වාඩාත් ආදරය කල ලෙසම ඔහු ගේ ස්වරය බොහො වේලවක් ඇදුනේය....

“නංගි නිසා අයියා ඉක්මනින් මැරෙනවාලු... ඔයාට එහෙම කරන්න බැ මගේ අයියේ......“

“හ්ම්ම්ම්ම්ම්ම්.... ඇත්තටම එහෙම වෙනවා කියලා කිව්වද මගේ නංගා....“

“ම්ම්ම්... අපේ පොරොන්දම් කොලේ පිටිපස්සේ ලියලා තියෙනවා... අපි ගැලපෙන්නෑලු මගේ අයියේ....“

“ඔයා හිතන්නේ මොකක්ද.... ඇත්තටම එහෙම වෙයිද අයියට...??“

“ඇත්තටම මම දන්නෑ අයියේ.... නොවෙන්නත් පුළුවන්.. ඒත් ඒක දැන දැන ඔයා ලඟට එන්න බෑ.... ඔයා ජීවත් වෙන්න ඔනිනේ....“

“මට තේරෙන්නේ නෑ මගේ නංගා..... අපිට කේන්දරයක් හදන්නේ අපි ඉපදෙන වෙලාවේ ග්‍රහ පිහිටීමට අනූව.. ඔයා හිතනවාද ඒ පිහිටීම අපේ හැම දේටම අපිට බල පායි කියලා... තර්කානුකූලව ඒක විකාරයක්නේ පැටියෝ...“

“ඒත්... සමාජ සම්මත.. ඇදහිලි.. විශ්වාස... ඒවා අපිට වෙනස් කරන්න බෑනේ....“

“දැන් මොනවද  ඔයා කරන්නේ කියනන්කෝ මැනික....“

“මම මගේ අයියා නැතුව ජීවත් වෙන්න පුරුදු වෙනවා....“

“පුළුවන්ද ඔයාට?“

“බැහැ නේ......................!! ඔයත් දන්නවා අයියේ ඒක...“

“හ්ම්ම්ම්ම් නංගට මං වගේම කෙනක් ලැබෙයි... බය වෙන්න එපා....“

“ඔයා වගේ අය නැ.... කවදාවත් ආයි මට ලැබෙන්නෑ....“

“නෑ හම්බ වෙයි....!! මම බලපු තැනින් කිව්වා මට අපල උනාට මගේ නංගට මේ දවස්වල සිකුරා ලබලාලු....“

“ඔව්.. ඔව්... එයා නම් ලබලා තමයි.. මට එපා වෙලා ඉන්නේ අයියේ......“

“සතුටු වෙන්න පැටියෝ....ඔයා ඉක්මනින් මැරි කරන්න.. හොඳ කෙනක්ට කැමති වෙන්න...“

“මොනවද මේ කියන්නේ කියන්නකෝ..... මට බෑ මගේ අයියේ....

ඔයා දන්නවද දෙයක්...
මට පිස්සු වගේ ඒක අහලා...
ඔයාගේ හොඳම යාළුවෙක් මට ප්‍රෙපෝස් කලා... “

“ආ... මගේ යාළුවෙක්....?? කවුද ඒ. කියන්නකෝ...“

“ තා....ර...ක.......“

“අහ්!! තාරක.... පුදුමයිනේ...
එයා හොඳයි මගේ නංගා... ඔයාට ආදරේ වෙයි.... ගොඩක් ඉගෙනගෙනත් තියෙනවා.. ඔයාට ගැලපෙනවා...“

“ඔයා මොනවද හිතන්නේ අයියේ.... එහෙම ආදරේ කරන්න මම රොබෝවක්ද? ප්‍රොග්රෑම් කරන කරන විදියට හිත වෙනස් කරගන්න පුළුවන්ද මට.. බැහැ දෙවියනේ.. ආදරයක් ඉබේ ඇති වෙන්න ඔනිනේ.....“

“අයියා ගැන නම් එකපාරටම ආදරේ උනා නේද...“

“හ්ම්ම්ම්ම්“

“ඒ කොහොමද මගේ නංගා.. “

“මම දන්නෑ.. ඉබේම දැනුනා.... අයියාත් මට ගොඩක් අදෙර් නේ...“

“ඔව් මගේ පැටියෝ  ගොඩක් ගොඩක් ආදරෙයි....“

“හ්ම්ම්ම්.... යන්න ගියාම අමතක කරන්නෙපා අයියේ.... ඔයාගේ නංගියෙක් කියලා හිතන්න මාවත්.....“

“ඔයා මගේ තමයි හැමදාමත්....“

වියලි සුසුම් අවකාශයේ ගලා යද්දී ඇමතුම විසංදි කල දුරකතනය පෙසක තබන්නට පෙර තිරයේ කෙටි පණිවුඩ හතරක්  ලැබුනු බවක සටහනක් විය.
1
“oya kawada manika ?


2
“maya patti Y don’t u rply”

3
“am waiting for ur reply”


4

“mayaaa ai mehema karanne mawa marila yayne’’

සියල්ලම තාරකගෙන් විය.

“ya I had my diner, gud nigt, TC, Bs,”

හදවත අනුකම්පාවකින් පිරි යද්දී එලෙස සටහන් කොට නිහඩ වන්නට සිතීමි.

“echcharada?”

“??”

“ maya kiyanna darlng man kochchara adareda oyata? plz say i lv U”

“cum on !! we are only friends”

“nooo I don’t accept it, I need you I love U plz understand wil U”

“ plz don’t be like this I don’t like to hurt U!!”

සංවාදය නොනැවතින. දින ගනන් සති ගනන්   වද්දීත් තාරක ආදරය අඩු නොකලේය. මුහුණට හමුවන වරක් පාසාත් පවසන වදනක් පාසාත් ආදරයම පෙනේනට වන් කල. සිත ලෝබ කමකින් දැවිනි.
ඒ පුරුදු ගැහැණු ආත්මට සමවැදුනු විට දැනෙන ආත්මාර්තකාමී ලොබ කමක් බව දැන දැනත් යටිසිතින් තාරකගේ කෙටි පණිවුඩයක් බලා පොරාත්තු උනෙමි.

බොහොමයක්  මාගේ පිලිතුරු මිතුරු කම එහා යන්නට ඇත. ඉතින් සිත දැවුනි. යලිත් හැරෙන්නට තවත් කල් ඇතැයි සිතා හැරෙන්නට බොහෝ වරක් උත්සහ කලෙමි.  නමුත් පෘතජ්ජන ගැහැණු ආත්මය හැඟිම් වලින් සිර කර මා බැඳ දමාගෙන සිටියාය.

නමුත් අවසන උඩු සිතත් යටි සිතත් සමතුලිත කරන්නට ප්‍රථම දුරකතන ඇමතුම හරහා තාරක ඇමතුවෙමි.

“ අම්මේ... පුදුමයි හිතුනා කතා කරන්න චුටි පැටියෝ...“

“හ්ම්ම්ම්“

“අන්නේ.. මං ආස නෑ ඔය හූම් ගෑවිල්ලට“

“ඔයා කියන්න එහෙනම්...“

“අපි කවදද බඳින්නේ කියන්නකෝ....“

“ තාරක.. අපි යාළුවෝ විතරයි ....“

“තවත් ඔයා මට කියන්නේ අපි යාළුවෝ විතරයි කියලාද... ඇයි මාව බාගෙට මරන්නේ ආ...“

“අනේ එහෙම නෑ... මට ඔයාට ආදරේ කරන්න දැන්ම බෑ....“

“ඒ මොකක්ද මායා ඒ කතාවේ තේරුම...?“

“මම දෙයක් කිව්වොත් අහනවාද..“

“කියන්න පැටී.....“

“ඔයා මට ප්‍රෙපෝස් කරන්න කලින් මට ඔයාගේම යාළුවෙක්ගෙන් ප්‍රෙපෝසල් එක්ක ආවා.. ගෙස් කරන්න පුළුවන් කවුද කියලා“

“ම්ම්ම්ම.... සංජීව ....?“

“නැ... තාරක නෑ... ඔයා හිතන්නේ වත් නැති කෙනක්.... රංගයියා...“

“මොනවා... රංගයියා....“

“ඔව් රංගයියා අපේ ගෙදරටම කතා කරලා ප්‍රෙපෝස් කලා.. හැමෝම කැමති උනා.. මමත්.. එයත්.. අපි ආදරෙත් උනා... ඒත්.. අපේ හොරස්කෝප් වල තියෙනවා අපි බැන්දොත් රංගයියා මැරෙනවා කියලා...“

“ඇයි දෙවියනේ කලින් මේක නොකිව්වේ.....??“

“මේ ගැන  අපි යාළුවන්ට  නොකියන්න තීරණය කලා.. ඒකයි...“

“ඒත් ඔයාට කියන්න තිබුනා මායා.. ඔයා දන්නවා අපි දෙන්නා එක කාමරේ ඉන්න යාළුවෝ කියලා... දෙවියනේ... මං ඔයාට කොච්චර ආදරේ කලාද මායා.... ඔයාට රංගයියා ආදරේ බව දන්නවානම් මම හීනෙකින්වත් මේ දේවල් හිතන්නෑ...“


“මම ඒකට වැරදිකාරියක් නෙවෙයි තාරක.....“


“මට සමා වෙන්න මායා... ගොඩක් සමා වෙන්න.. මට බෑ මේක තව දුරටත් කරන්න....“

“තාරක....“

“අපි හැමදාම යාළුවෝ.... මං දන්නවා ඔයාට දුකයි දැන්... ඒත් මට බෑ රංගයියාව කීයටවත් රිදවන්න.. එයාට ගොඩක් දුක හිතෙයි...“

“මට ඔනි උනේ නෑ ඔය දෙන්න අතරට මැදි වෙන්න..“

“මේක අපි දරාගන්න ඔනි මායා.... මට ඔයා නැති වෙනවා,  රංගයියාට ඔයා නැති  වෙනවා, ඔයාට අපි දෙන්නම නැති වෙන්න ඔනිමයි.... අපේ ජිවිත ෆැන්ටසියක් නෙවයි මායා...  මට සමා වෙන්න මම යනවා.....“



ඉඳින් මම නිරුත්තරව බලා සිටිමි!!!



at 1:29 AM 0 comments

Saturday, November 3, 2012

නිකැලැල් කැලැල්


වැහි පිහිල්ලේ  කාන්දුවෙන් පතිත වන තාවකාලික වැහි දියකඩිත්තේ චිරි චිරිය , ගිම්හානිට අති විශාල කංකරච්චලයකි. සියලූම ප්‍රාණි මුලයන්ගෙන් වසන්ව ඉන්නටැයි සිත ඉල්ලා සිටින  මොහොතක කඩාහැලුනු මේ  අදිසි වරුසාව දෙසට ඇය සිත පුරාවට රවාගෙන උන්නාය. වරුසාව පැරදවීමට දෙනෙතට හැකි උවත් සිදුවු සියල්ලෙහි ඝණපූර්ණය සලකා බලන කල, හඬ වැටෙනවාට වඩා සිතන්නට බොහෝ දේ ඉතිරිව තිබේ.  සෙන්ටිග්‍රෙඩ් අංශක ඍණ ගනනක් මතින් ගල්ගැසුණු කඳුලු බිඳු තෙන්කෙවෙනි යට සිටන් රිදුම් දෙන්නේ වුවත්, ලේහ පර්වතකයට දියබිඳු වට්ටවා මළනොබැඳිවිය හැකි හෙයින් ඇය දිගටම වැස්ස දෙසට රවාගෙන උන්නාය.

“මං යනවා...........” මෙතෙක් වේලා කැඩපත අභිමුවේ උරුවන් බාමින්  කෙහෙරුලි කැරලි කරමින් උන් අනුර ඔනෑවට එපාවට මෙන් කීවේය.

“ම්ම්ම්ම්ම්ම්” වැස්සට රවාගෙනම ගිම්හානි හූමිටි දුන්නාය.

“ඔකට ඉතින් ඔච්චර විරවන්න දෙයක් නෑනේ.. බලන්න බෑ මූණ කාලි යකින්න වගේ......”අවුල්ව ගිය සයනය මතින් වාඩි වූ අනුර ඇයගේ කම්මුල් තමා දෙසට හරවා ගනිමින් සරදම් කලේය.

“කෝලම් කරන්නේ නැතුව යන දිහාවක යනවද...” රතුවූ දෙනෙත් වලින් අනුර දෙස එක එල්ලේ බලමින් ගිම්හානි කෑ ගෑවාය.

“ගිම්මි..මේ!!! අවසාන වතාවට කියන්නේ..... කටින් හයිකාරකම් මට පෙන්නන් එන්න එපා.... මං කවුද කියලා දැන දැනමනේ තමුසේ මගේ කීමට කැමති උනේ...... අනික බං උඹව එක අතින් උස්සලා පොලවේ ගහන්න හයිය තියෙන මට උබේ ඔය චැක චැක කියවිල්ල නවත්තන්ඩ මහ ලොකු දෙයක් ඔනි නැ...  ” මහ හඬන් සිනාසෙමින් ගිම්හානිව නැවත සයනය මත පෙරලාගන් අනුර දෙතොල් පෙති තදින් සිප ඇයව තව තවත් වෙහෙසට පත් කලේය.

“යන දිහැක යනවා මනුස්සයෝ මේ ගෙදර මිනිස්සු එන්න කලින්...” අස්වාභාවිකව වේගයකින් අනුරව තම වතින් තල්ලුකල ගිම්හානි යලිත් කෑ ගැසුවාය.

“යනවා තමයි ..... ..!!!  මගේ ඇඳුම්  අපේ  කාමරේට ගිහින් දානවා...... පුළුවන්නම් සෝදලාම දානවා.....” අණකරමින් කාමරයෙන් පිටව ගිය අනුර දෙස ගිම්හානි හැඟුම් විරහිතව බලා සිටියාය.

ඇයට සයනයෙන් නැඟි සිටින්නට තවත් විනාඩි ගනනාවක් ගතවුනි. අවුල්ව ගිය කෙස් එක්ව ගුලියක් කොට සකසා ගත්තී රතු පැහැ සිමෙන්ති පොළව මත නිරුවත් දෙපා තබා වේගවත් ගැම්මකින් නැගී සිටින්නට උත්සහ කලාය.  එහෙත් කඳ පෙදෙස වාරු නැති වීමෙන් අය යලිත් සයනය මතටම කඩා වැටුනාය. එවිට ඇයටත් නොදැනී පෙර ගල්වී තිබුනු කඳුලක් නෙත් අග්ගිස්සසෙන්  රූරා අපිලිවෙල සයනය මතට වැටුනි.  
සැබැවින්ම එය එසේ වුයේ උඩුබැලි අතට වැතිරී උන් ඇය, රූටා ගිය කඳුල කන්පෙතිහරහා ගලා ගාම වලක්වනු පිනිස මදක් දකුණු ඇලයට හැරුණු නිසාවෙනි.

එකී කඳුල නිකරුනේ ගලායද්දී පොඩීවී අවුල්ව ගිය ඇඳ අතිරිල්ල රක්ත වර්ණ ගන්වා තිබූ පවිත්‍රත්වයේ කැලල දෙස මොහෙතක් බලාසිටි ඇය වියැලී ගිය කඳුලු අතරින් දස වසරක් ආපස්සට ගියාය.

~~**~~


පාසැල නිමාවී නිවසට පැමිණි ගිම්හානි. සුපුරුදු ලෙසින්ම නිල ඇඳුම ඇඟ දවටාගෙනම  දහවල් අහර පිසුවාය.  විඩිමහලු දෙසොහායුරන් පාසැල අවසන්ව පැමින ඇඟපත දොවා ගන්නා ඇසිල්ලට බතක් ව්‍යාංජනයක් පිලියම් කරන්නට තරම් දෙළොස් හැවිරිදි  ඇය සමත් වූවාය. අළුයමින් රුකියාවට යන පියා‍ගේත්, කාසි සොයා එතෙර ගිය මවගේත් රාජකාරී සියල්ලක්ම ගිම්හානිත් දෙසෙහොයුරන් අතරත් සමව බෙඳුනි.

“නංගී..... ඔය ඇති ඉව්වා.... කාමරේට ගිහින් ඉන්නවා.......මම ගිහින්   නැන්දව එක්කරන් එනකල් එලියට බහින්නෑ තේරුනාද..... ”  අහාර පිසීම අවසන් කරන්නටත් පෙර  කුස්සියේ උළුවස්සට බරවී උන් වැඩිමහලු සොයුරා අණ කරද්දී ගිම්හානි විපක්ෂිතව ඔහු දෙස බලා උන්නාය.

“උයලා ඉවර නෑ.......” විසල් දෑසින් සොයුරා දෙස බලමින් ගිම්හානි කීවාය..

“කමක් නෑ නැන්දා ඇවිත් උයයි.. යනවකෝ කිව්වම අහලා.......” යි කියමින්  සොයුරා දිවයද්දී කුඩා නැගනිය ඔහුට අවනත වුවාය.

දිනය හරි හැටි අමතක උවත් ඒ ගිම්හානි නම් ළදැරිය යුවතියක් වු දිනය බව ඇය හොඳින්  මතක තබාගෙන උන්නාය. ඇයව සුවඳැති පිච්චමල් වතුරෙන් නහවා කාබී විනොද වුනු නැදෑයින් නිවසින් පිටව ගිය පසු, යුවතිය තනිවම ජීවන සටන ඇරඹුවාය.

මාස්පතා රක්ත පැහැයෙන් වර්ණ ගැන්වෙන රෙදි කඩ බොහෝමයක් නිවැසියන්ගෙන්  සඟවන්නට වැසිකිලි වලට ගොඩ ඇය, යෞව්වන ජීවිතයේ අයනු ආයනු කියා දෙන්නට මවක් අසල නොවුනු කල ද්වීතීක ශාරීරික වෙනස්වීම් හමුවේ පිස්සියක මෙන් මනසින් විදෙව්වාය. එහෙත් අද වන තුරු ඇය පිවිතරුව උන්නාය.

ප්‍රාද්ශිය දේශපාලනයෙන් හිස විකාර කරගත් දෙසොහොයුරන් ඔවුන්ගේ මිතුරන් පවුල් පිටින්ම නිවසේ නවාතැන් ගන්වා  ගනිද්දී, ආගන්තුක මිනිසුන්ගෙන් දැස්වලින් ඇයගේ සුන්දරත්වය ඉඳුල් වත්දීත්, උපේක්ෂා සහගතව තුරුණු සිත මෙහෙයවාගත්  ඇය සිය කුමරි බඹසර රැකගෙන  දැඩි සිතින් උන්නාය.

එහෙත්,  අනංග නෙත්සර  සමඟින් හිත් මානයට එබිකම් කල අනුරට ඇගේ දැඩි කම වෙඩරුපිඩක්වන්ව දිය කර හරින්නට එක ස්වරයෙන් හැකීවීම මේ මොහොතේත් ඇය පුදුමයෙන් සිහි කලාය.

ප්‍රේමය නම් මායා දැලෙන් දෙනෙත් වැසී යද්දී,  නියාලු මකුළුදැල් මුස්නයකින් පිසදමන්නාසේ  තම සළුපිලි උනාලූ අනුර යෞව්වනත්වය උදුරා ගන්නා තුරුත් ගිම්හානි ඒ දෑසටම වශිවී  උන් බව සිහිකරමින් ඇයම යලි යලිත් පසුතැවුනාය.

ඇයට කෑ ගසා හඬන්නට උවමනා කර තිබුනි. පසුතැවීමක ආවේගය දියකර හරින්නට උවමනා කර තිබුණි.  ඒ සියල්ලටම වඩා නිරුවත් සිරුර රෙදි කඩකින් වසා ගන්නට උවමනා කර තිබුනි. එහෙත් ඒ කිසිවකට ඉඩ නොතබමින් අනුරගේ සිඟිති දියණිය පෙරපාසල් රැගෙන උදෑසන නිවසින් බැහැර ගිය අශානි නිවසට ගොඩවූ  බව වැටහී, මවගේ උණුසුමින් මිදෙන දියණිය තමා සොයා එන බව අත්දැකීමෙන් දන්නා ගිම්හානි,  අනුරගේ ඇඟලුම් සහ නිකැලැල් බවේ කැලැල් රුගත් ඇඳ ඇතිරිල්ලද ගුලිකොට ඇඳ යටට වීසි කර, අතට හසුවූ චීත්තයකින් විලි වසා ගත්තාය.

~~*නිමි*~~

at 5:33 AM 7 comments
Labels: පරිකල්පන

Saturday, October 20, 2012

උට්ඨාන


සුනීල වර්ණයෙන් යුතු දිය රැළිති මතින් හැඩ ගමනක ඇවිද ,දිය කඩිත්ත තරණය කලෙමි. ප්‍රථම වතාවට ආපසු හැරී බැලීමෙහි සවියක් චංචල සිතුවිලි අතුරින් දැඩිව මතුවිය. දිය කඩිත්තට එපිට මයිල කිහිපයක් ඈතට විහිදෙන තැනිතලා තෘණ යාය මතින් තවමත් පහව නොතිබුණු උදැසන මිහිදුම් හැරෙන්නට අන් කිසිවක් මගේ දෘශ්ඨි පථය හරහා නොවින.

මම, බොහෝ කලක් නැවතී සිට කිලෝමීටර් ගනනාවක් එක දිගට දිව ගිය අයෙකු මෙන් හෙම්බත්ව සිටිමි. ඒවන් වු වෙහෙසකර මොහොතක මේ සොඳුරු දිය ඉස්මත්ත ගිමන් හරින්නට සුදුසුම තැනක් නොවේද ? ඉඳින් නිදහසේ හති හෙලන්නට අසල ගල්තලාවේ වාඩි උනෙමි.

--**-**-**--

ජුක්! ජබුක්! චික් !චක්! චකස්!!..... එකිනෙක ගල් කැට ජල තලය මත පතිතවන හඬ අවස්ථානුකූලව විවිධ ස්වරූපයන්ගෙන් යුක්න විය. ඒ විවිධතවය තරමටම පසෙකින් ඇසෙන වීදුරු ගැටෙන හඬට මුසුවුනු මත්වුණු සිනාහඬ හදවතේ නිස්කලංක භාවය බිඳ දමා තිබුණි. දෙනෙත් රත් පැහැයෙන් ගිනි ගනිද්දී කම්මුල් මතින් හටගත් දැවිල්ල හදවතේහි වූ කෝපය නිර්ලෝභීව පිටකර තිබුණි. 

සිතුවිලි වල ආවේගය වැඩි වත්ම, දිය තලය මත ගල් කැට පතිතවන වේගයද ඉබේටම වාගේ වේගවත් විය. දියතලයත් අනේකවිද ස්වරයන් මවමින් ඒ මත පතිතවන ගල්කැටත් මත පමණක්ම රෑඳී තිබුණු අවධානය බාහිර පරිසරයෙන් මුළුමනින්ම මිදෙත්ම , සිතුවිලි ලෙඩ කල ඒ කෑකෝ ගැසීම් නෑසී යන්නට විය. ගල් කැටිති ජල තලය මත පතිත වන විට කුඩාදිය බිඳු විසිරෙන්නා සේම දෙනෙත් අග්ගිස්සෙන් පටත් ගත් විසල් කඳුලු බෝලයක් කම්මුල හරහා පෙරලීයන වේදනාකාරී ආශ්වාදය දෙනෙත් පියාගෙන වින්දෙමි. එය මනෝ ආත්මභාවයේ පතුලටම කිමිද හදවත සංසුන් කරගැනීමට නිතර මා විසින් සිදුකල ව්‍යායාමයකි.  නමුත්!

පිටුපසින් පැමිණි වේගවත් තෙරපීම විසින් අසමතුලිත සිතුවිලි වල වෙලී උන් සිතට උරුම වූ කය සමබරතාවයෙන් ගිලිහී මදක් ගැඹුරු ජලතලය මත පතිත විය. අත්ලේ ගුලිව තිබූ කුඩා ගල් කැබලි හඬක් නොනගාම දිය තලයේ ගිලී යද්දී, ඒවනතුරුත් සිදුවීම තේරුම් ගැනීමට අපොහොසත් සිතටම ඉඩදී නිශ්වල සිරුර මුදාහැර බලා උන්නෙමි. කෙමෙන් දෙකන් පෙතිද මොහොතකින් ඇස්පියන්ද ජලතලය මත ගිලීගිය බැවින් නාසය අවහිර වු බව මා ඔබට අමතුවෙන් කිවයුතු නොමනාය.

“මායා what’s wrong with you, god shake just open your eyes..... මේක සෙලල්මක් නෙවී... Please this is not a joke මායා just wake up than killing me ...... ”

සිරුර අතැරයන්නට මං පෙත් සොයන ආත්මය ඒ හඬට ලොබ බඳිනා බවක් හැඟුණි. උදරයත් පපුපෙදෙසත් අතරින් තෙරපමින් වියරුවෙන් කෑ ගසන හඬ තවත් වරක් මා හට ජීවය ගෙන දුනි.
*-**-*

සුවපහසු පෞද්ගලික රෝහල් සයනය මතට විසල් නගරයේ බොහෝ ඈතක් පෙනෙන සෙයකින් එහි මායම සොයන්නට වීදුරු කවුලුව මතින් ක්ෂිතිජයට සිතියම් අඳිමින් උන්න්නෙමි.

ජීවයට අත වැනූ ඒ සුපසන් හඬ මොහොකතට නිහඬව තිබුනත් ගුඹුරු සුසුම් අවකාශයේ පාවෙමින් පැමිණ මාගේ සියුම් කන්පෙතිවල වැදුණි.

“මායා, How many times I told that Am sorry... please speak one word and give me any kind of punishment... I’m ready to accept it. ” 
 දින ගනනකින් නොකැපූ රුවුල් කොට මුහුණට තදවන සේ  පිටුපසින් සිට කම්මුල් මතට කම්මුල් තෙරපාගෙන ඔහු මිමිනුවේය.  ඒ මා ප්‍රිය කරණ ආදරණිය ස්පර්ශයකි. නමුදු ඔහු මා ඉදිරියේ දැන් බරපතල වරදකරුවෙකි.  ඒ , විහිලුවක් කරන්නට සිතා මා දොළ පහරට තල්ලු කල නිසා නොවේ. විනෝද චාරිකාවම අපුලක් කරවමින් මිතුරන් සමඟින් මදුවිත තොල ගෑ නිසාය.  දින ගනානාවක් පසුවී නමුත් තවමත් කෝපය නිවි නොතිබුණි.

“Then, leave me and go.... කුශා....... forever...!”
ඇඟ දැවටුණු සර්පයෙකු අහක්කරන්නා සේ ඒ උණුසුම් ස්පර්ශයෙන් වේගවත්ව මිදෙමින් මා කෑ ගැසුවෙමි.... ඒය රොහල් බිත්ති පුරා නින්නාදවන්නට විය.

“මාය what is this, why are you taking revenge for that small thing... I promised that I won’t do that again.......... give me another chance... ඒ මම ඉල්ලන අනිත්ම චාන්ස් එක මායා.. ” ඒ දෙනෙත් විශ්මයෙන් විසල්ව තිබුණි,  ඒ වේදනාවම විය. මට අවැසි වූයේ ඒ දෙනෙතට තව තවත් වේදනා දෙන්නට පමණි.

“කීවේනි පාරද........ මේ කීවෙනි පාරද කූශා......හැමදාම ඔයා පොරාන්දු වෙනවා නොබොන්න.... ඒත්.. හමදාම ඔයා ආයෙමත් බොනවා අන්තිම පාරට කියලා.... I had enough your last chance. මාව ආපහු හොස්ටල් එකෙන් බස්සලා ඔයා යන දිහාවක යන්න කුශා... ආයිත් මගේ ඇස් වලට පේන්න එන්න එපා....”

අපුලෙන් ඔහුව තව තව ඈත් කරමින් කෑ ගැසුවෙමි. ඔහු බොහෝ දෑ කිවේය. නමුත් ඒවා අසන්නට මා සූදානම් නොවීමි. 

තුන්රෝද රිය විශ්වවිද්‍යාල නේවාසිකාගාර මාවත අවසන් කරත් ඔහුත් මාත් අතර නැවත වදන් ගනුදෙනුවක් නොවිනි.

“බුදු සරණයි මායා.... ඔයා කියනවනම් එන්නේම නැහැ ආයේ... කවදාවත් නැහැ..... But keep in mind... you will realize one day how much you loved me... ”

ඒ අසරණ හඬ නැගු මුව දෙවත් නොබලා  සිමෙන්ති පඩි පේලිය දිගේ ඇවිද ගියෙමි.
*-**-*
කාලය අත්තටු ලැබ පියඹායන අතර තරතුරදී හෝ යලිදු ඔහු  නොආවේය. මසිත මා රවටා තිබුණි. බේබද්දෙකුගෙන් මිදුනා යැයි මම මටම සෙත් පතා ගතිමි.  එහෙත් මාත් නොදැන තාරුණ්‍යය ක්ෂය වෙමින් ගොස් තිබුනි. මම මඟ බලා හිඳින්නට හුරු උනෙමි.

 ඒ යලිත් ඔහු පැමිනෙන නිසා නොවේ. ඔහු මාහට අහිමිව ගිය නිසාය.  පිය පාර්ශවයේ කුල දියනියක් පාවා ගන්නා දිනයෙහි මමද ඔහුගේ විවාහ උත්සවයේ අමුත්තන් අතර සිටි බව හදවතට රිදවුම් දුන් නිසාය.
මම දැවෙමින් උන්නෙමි.. කේන්තිය ඉහවහ ගොස් කියු එක් වදන ඔහුට ලබා දුන් සවිය පිළිබඳ මම උරණව උන්නමි. ඔහුට වඩා බෙහෙවින් පරිපුර්ණයෙකු  හා කුල ගෙයට යන්නට මඟ බලා උන්නමි. එහෙත්, 

 විසිහත් වයස්වන විටත් ප්‍රේමය සිතට අපුලක් මිස සැනසුමක් ගෙන නොදෙන්නක් විය.  විවිධ තරාතිරමේ යෝජනා පැමිණියත් එකම චදනකින් ඒ සියල්ලක්ම නිශ්ප්‍රභා කරන්නට තරම් මාගේ විධායක බලතල සවිමත් විය.

“කසාදයක් කර ගන්න අකමැති ගෑණියෙක් ඉන්නවද හැබෑට... කැම්පස් යැව්ව අපේ වරද... අර වාද මේ වාද ඔළුවේ පිරිලා...  කසාදයකට අකමැති වෙන්න තරම් මොකක්ද උඹට තියෙන ප්‍රහ්නේ මායා... ” දෙමාපියන් එලෙස ගොරණාඩු කලාහුය.

“ මම හොයන විදියේ මිනිස්සු නැහැ... එහෙම නැතිනම් මම කසාද බඳින්නේත් නැහැ..” මාගේ තීරණය දැඩි විය. ඒ දැඩි බව නිසාම දෙමාපියන් මා ඉදිරියේ පරාජය වන්නට පෙර ඔහුන්ම පරාජය දෝතින් පිළිගත්තෝය.

“අම්මා... මං කැමතියි මහණ වෙන්න....” සියලූම වාද විවාද අවසානයේ මම ජය ග්‍රහණයේ පණිවුඩය දෙමාපියන් පාමුල තැබීමි.

“දහදුක් විඳලා උඹට ඉගැන්නුවේ තරුණ කාලේම තපසට යවන්නද මායා... මොනවද මේ කියවන කතා....”ඇය උරණ වී උන්නාය.. නමුත් මා කිසිදා පරාජය නොවන්නියක්මි. දෙනෙතෙහි කඳුලු  වල උණුසුම ඇය සිත වෙඬරු පිඩක් කරනා බැව් මා පලපුරුද්දෙනි දනිමි.

“අම්මා.. දන්න දවසේ ඉඳන්.. මම මේ ජීවිතේ එක්ක රේස් පදිනවා.. දැන් හොඳටම මහන්සියි මට... ඉස්සරහට අරමුණක් නැහැ.. අනෙක මම ජීවත් වෙන්නේ කිසිම සතුටකින් නෙවයි. මම ආසයි ජීවිතේ ඉස්සරහට සතුටින් ඉන්න.....”

දෙනෙතේ කඳුලු මෙන්ම මාගේ ස්වරය හා ඇවටිල්ල දෙමාපියන්ගේ කැමැත්ත මවෙත ලැබීමට මහෝපකාරී විය.

අත්ථි ඉමස්මිං කායෝ කේසා ලෝමා නකා දන්තා
අත්ථි.. ඉමසම්මිං....කේසා.... ලෝමා.... නකා.... දන්තා...මාසං...නහාරු.. අත්ථි..

පසුබිමින් තාලයට ඇසෙත පිරිත් සුත්‍රයත් සියුම් හඬක් නංවමින් කතුරින් කැපී යන දිගු ගණ කෙස් රුලිති දිය බඳුනට වැටෙන හඬත් අසංතුලිත මනස තුල හොල්මන් කරන්නට විය. අතීතය සිතුවමහ් පටක් සේ දෙනෙත් ඉදිරියේ යලි යලිත් ආවර්ජනය වන අතරේ පරාජිත ප්‍රේමවන්තිය මායා ,   උපේඛා නමින් කසාවත් දැරුවාය.

කසාවතින් වසා ගත් සියලු කාමභෝගී ආශාවන් සංසිඳුවාලන්නට උපේඛාවන් ලෙසින් මා වෙහෙසුනෙමි. අසංවර ලෙසින් ඉගිල යන්නට වෙර දරන සිතුවිලි සමඟ තරඟ කරමින් බවුන් වඩන්නට උත්සහ කලෙමි, රුයෙහි කුස ගින්න දත්මිටි කමින් ඉවසා දරා සිටියෙමි. මා කෙරෙහි මසිතට වෛරයක් ඇති නොවන ලෙසින් මසිත දමනය කරන්නට මට සිදුවිය.  

දිහදියෙන් සිරුර තෙත්වී සියුම් නහර වැල් හිරීවැටී යන රාගීක රාත්‍රියක් නිමාකල මම. වනගත අසපුවේ උදෑසන තේවාවට බැතිමතුන් පැමිනෙන මාවත මගහැර මේ තෘණ නිම්නය කෙලවරට පැමිණියෙමි.
සිතන්නට ලැබුණු ඉඩහසර මතින් රාගික උපේඛාවක්  ජීවත්  කරවීමේ යුක්ති සහගත  බවෙහි සමගාමී සමීකරණය විඳාගනිද්දී කසාවත සිරුරට බරවැඩි සෙයක් මට දැණුනි.

ඉඳින් මම පහත් වී  අතවූ පාත්‍රය නිසොල්මනේ ගලා හැලෙනා සුනීල දිය තලයට පරිස්සමට අත්හලෙමි..  දියපහරේ වේයෙන් පහල නිම්නය දෙසටඇදී ගිය පාත්‍රය ගල්පරයක වැදී පෙරලී ගියෙන් ඒ තුල සිරකල කසාවත සුනීල ජලයේ පිහිනා යන කහ ගැරඬියෙකු සේ ඈතට දිස්විය!!!




at 6:26 AM 8 comments
Labels: පරිකල්පන, මායාවී

Tuesday, September 25, 2012

When You Say Nothing At All


සුදු පැහැති  පිඟන් ගඩොල් මතින් කුරුළු ගමනක පැමිණි මම,  ඔහු පිටුපසට වී බලා උන්නෙමි. හේ කවදත් නිශාචර ජීවියෙකි. රැය උදාවීමමෙන්ම  ගෙවි යාම ද සිදුවන්නේ ඔහු නොදැනම බව නිශාචරයාගේ පියඹ වන්නත් බොහෝ කලක සිටන්ම මා දැන උන්නෙමි.

පොතක් හෝ පරිගණකයක් අසල සිටින විට තමා හා වටපිටාව අමතක වන තරමටම උමතුවන හේ  ඉන් පරිබාහිරව ගැඹුරු දියක් මෙන් නිහඬ නිසංසල වීය. ප්‍රේමයේ සුපසන් හැඟුම් අද්දරත් ගොලුබසින් කතාකල හෙතෙම  ජීවිතයේ අන්තිම පතුලටම කියාදුන් බව මා කෙසේ අමතක  කරන්නද?

රහසින් බලා සිටීම, මට කෙසේවුවද ඉඳුරන්ට තවත් කල නොහැකිව තිබුනි.  ඉඳින්,  හීනි දිඟු අතැඟිලි ඒ කළුවන් කෙටි කෙස් අතරේ ගෙන ගියෙමි. නැත  ඒ ස්පර්ශය  ඔහුගේ දැහැන බිඳින්නට තරම් ප්‍රාණවත් නොවේ.. දෑඟිලි ඔහුගේ ගෙල මුලට ගෙන ගොස් එලෙසින්ම පහත් වී කෙටි රුවුල් කොට වලින් ගොරෝසු වු කම්මුල මත්තේ කම්මුලක් තමා ගතිමි.. ආදරයක ආශ්චර්‍යය!! එක අතකින් පොත රඳවාගෙන අනෙක් අත මාගේ කෙහෙරැලි අතරට ගෙන යන්නට  තත්පර කිහිපයක පමාවක් පමණක්ම සිදුවිය.

උගුර සිරවී හැඬුම් එන්නට ඔන්න මෙන්න තිබියදී  ක්ෂනික ඉරියව් වෙනසකට නතුව  මාගේ දෙතොල් ඒ තොල් පෙති අතරේ සිරගතව තිබුනි!!

ආදරය මේ දැයි සිතා අසා සිටියෙමි........................



The smile on your face
Lets me know
That you need me
There's a truth
In your eyes
Saying you'll never leave me
The touch of your hand says
You'll catch me
Whenever I fall
You say it best
When you say
Nothing at all


මුවින් නොදෙඩුවද.. ඔහු  සැබැවින්ම කතාසරිත් සාගරයක් බව, සිතුවිලි වලට ඒත්තු ගන්වමින්.. පොත යලිදු ඔහුටම දී.. ඒ අඩවන් දෙනෙත් දෙසම බලා ඉන්නට සුදු පැහැ ටයිල් පොළවේ ඔහු අසලින් වාඩි උනෙමි! 

at 8:24 AM 4 comments
Labels: පරිකල්පන

Saturday, September 22, 2012

මන:කල්පිත හිතවතිය - Imagery confidante


නිරතුරුව ඇය මා අසලින් සිටියාය. මා මුල්වරට දෙපයින් සිටගනිද්දී ඇය මා හට වාරුවක්වන්නට ඇතැයි පසුකාලීනව සිදුවූ  බොහෝ සිදුවීම් ඇසුරෙන් මා නිගමනය කලෙමි.  නිවසේදී සහ පාසලේදී මා ගතකල ජීවිතය හුදෙකලා එක්ක බවට අසල්වාසීන් මෙන්ම ගුරුවරුන්ද චෝදනා කාලහ. නමුත් එවැනි හුදෙකලාවත් මගේ ජීවිතයේ නොවුනි . පාසලේ නියමිත ගෙදරවැඩ සඳහා ඇයගෙන් මට නොමසුරු සහයෝගයක් ලැබුනි, එනිසා කිසිවෙකුගේ උදව් ඉල්ලීමක් කිසිදිනෙක නොකලෙමි.

සති අන්තයේදී අසල්වැසි නිවසක පියානෝ වාදනය ඉගැනුම සඳහා ගිය විට නිරතුරුව පියානෝව අසල රෑඳෙමින් ඇය මා අගය කලාය, මා පියානෝ වාදනය උගැනුම දෙමාපියන්ගේ කැමැත්ත වුවද මා ප්‍රිය කල එකම වාද්‍ය භාන්ඩය බටනනලාවයි. ඇය එය හොඳින් දැන උන්නාය, එසේ වීත් පියානෝ වාදයනය උගැන්මට ඈ මා දිරිමත් කලාය. විවේකී සන්ධ්‍යා කාලයන්හීදි මිටියාවත කෙලවරකට වී සාම්ප්‍රධායික තනු  බටනලාවෙන් වැයීම සඳහා ඇය මට උදව් කලාය. කිසිදු පෙර ඉගැනුමකින් තොරව මා මෙසේ වාදනය කරන බැව් දානගත් මාගේ දෙමාපියන් මෙන්ම සංගීත ගුරුවරියත් බෙහෙවින් පුදුම වූවෝය.

ගැහැණු ශරීරයේ ද්වීතීක ලක්ෂන මතුවන කාලය වන විට ඇය මා අසල ගැවසීම සිතට ලජ්ජාවක් ගෙන දෙන කරුණක් විය, නමුත් මා ද්වීතීක විපර්යාසයට පත්වන විටත් ඇය එහි අවසන් භාගයේ උන්නායැයි මා අනුමාන කලෙමි. එය අනුමානයක් පමණක්මදැයි මොහොකතට අදටත් සිතමි.

හුදෙකලා  යැයි අන්අය සිතුවත්. පාසැලේදී මා හට බොහෝ මිතුරන් විය ඒ අතරින් වඩාත් කලා කාමීව මා සිත අරක් ගත් තැනැත්තා  සිදත්ය. කළුවන් කෙස්වලින් සහ දුඹුරු පැහැ දෙනෙතින්  යුතු ඔහු ද මා මෙන්ම හුදෙකලාකාමියෙකි. ෆයිනස් යාය අසබඩ ලීබංකුව මතට වී ඇයත් සමඟ  විවේක කාලය ගත කරද්දී බොහෝ විට යාබද බංකුවේ වාඩි සිටියේ සිදත්ය.

ඇයත් මමත් නිරතුරුව කතාකල මාතෘකා අතර සිදත් බෝ විට සැරි සරුවේය. බොහෝමයක් අවස්තාවල අපගේ කතාබහ අවසාන වූයේ වාදයකිනි. සිදත් විශයෙහි ඇයත් මමත් එකිනෙකට වෙනස් මත දැරීම අප දෙනොගේ මිතුරු දමේ පළමු නොගැලපීම විය.ඊට පෙර ඇය සිතුවේත් මා සිතූ දෙයම බව මම හොඳින් දන්නනෙමි.  ඔහු කඩවසම් යැයි  මා කියද්දී වැදුලි සැරට හසූවි අඟුරු වුනු වදුරකුට ඔහුව සම කල ඇය සමච්චල් සහගත ලෙස සිනා සුනාය. මම බොහෝ සෙයින් ප්‍රිය කල ඔහුගේ දුඹුරුවන් ඇස් ඇයට බළල් ඇස් පමණක්ම විය. ඇය සමච්චලයට ලක් නොකල එකම දෙය ඔහුගේ නිහතමානි අවංක ගති පැවතුම් පමණකි.

ඇයත් මමත් සිතුවිලි වලින් අදහස් බෙදාගනිද්දී සිදත් මා සමග දෙනෙතින් බොහෝ දේ කතා කලේය. ඒ කතාබහේ රසවත් යාමය එළඹෙන විට මම ඇයගෙන් බොහෝ දුර ගිය සෙයක් මටද හැඟුණු. නමුත්  සිදත් වටාවූ ලෝකය තුල මට සිතන්නට බොහෝ දේවල් තිබුණි.  ඇය අතොරක් නැතිව චොදනා කලාය. මා හැර යන බවට දිවුරුවාය. නමුත් සිදත් ජීවිතයට වද්දා ගත්තා යනු ඇයව ජීවිතයෙන් එලවා දැමීම නොවන බව ඇයට තේරුම් කර දුන්නෙමි. ඇය තේරුම් ගත්තා දැයි අදටත් මම නොදන්නෙමි. මා නොදැනුවත්ව උවද ඒ ගත් සියලු උත්සයන් ව්‍යර්ත වු බව එකල මා නොදැන උන්නෙමි. ඇය මා කෙරේ නිතර පසු වුයේ අමනාපයෙනි.

කාලය ගෙවී හැල්මේ දිව ගියෙන් පාසැල් ඉගෙනුම අවසන් වී රැකියාවක් කරන කාලය එලඹෙන විට ඇය මා අසල ගැවසෙන කාලය අඩු කලාය. ඇය කොයිදැයි බොහෝ වේලාවක් යන තුරුත් ඇගේ මිමිනීම නොඇසින. ඇය කොහේ යනවාදැයි විමසූ නමුත් කිසි විටෙක පිළිතුරු නොදුන් ඇය ආවේග ශීලි මොහොතක,”මාත් ජීවියක් ඉල්ලන කෙනෙක් හෙයාගන්න ඔනි....” යන්න පමනක් කීවාය.  ඒ අනූව සිදත් හා මා කෙරෙහි ඇය ඊර්ශයාවෙන් පසුවන බව මා අනුමාන කලෙමි.  ඇය දිගින් දිගටම මා මග හැරීමට උත්සහ කලාය. අඩුම තරමේ සිදත්ගේත් මගේත් විවාහ මංගල්‍යයට පල්ලියට පවා ඇය ආවේ නැත. මධුසමය අවසානයේ මා පැමිනෙන විටත් ඇය ගැන තොර තුරක් නොමැති විය. නමුත් මධුසමය අතරතුරේදි බොහෝ වර ඇය අසල ගැවසේ යැයි හැඟිමකින් මා දෙතුන් වර ඇවිලි ගියෙමි! මා ඇයට අසාධාරණයක් කලා යැයි මා සිත මට දොස් කියන්නට විය!

සිදත් හා මම ගෙවූ සුන්දර විවාහ දිවිය තුල  ඇය වෙනුවෙන් වේලාවක් වෙන් කරන්නට කොහෙත්ම ඉඩක් නොලැබිනි. ඇය ගැන සිතන්නට ලැබුනු  . ඒ පිළිබඳ වරදකාරී  හැඟිමකින් වරෙක මා පරාජිත උනෙමි. ඇයට මුහුන දිමේ අපහසුතාවය නිසාම ඇය සමඟ මිමිනිමේ පුරුද්ද විවාහයෙන් පසු ඉබේම නැති වී ගියේය. නමුත් දිනක් ඇයම මා කරා පැමිණ දයාබර ලෙස මිමිනුවාය.

“මායා.. මම යනවා.. දැන් මට යන්න පුළුවන්... මේ දවස එනකල් මම ගොඩක් ආහාවෙන් බලාගෙන හිටියේ.. ඔයාට නොකියා යන්න බැරී නිසයි  ආයිත් ආවේ කියලා යන්න...මම ඉක්මනින්ම ආපහු ඔයාගේ ලඟටම එනවා.....”

“ම... මට සමාවෙන්න.....” ඒ හැර අන් කිසිවක් කියාගත කොහැකිව මා ගල් ගැසී  උන්නෙමි..

“මොනවට සමාව ඉල්ලනවාද ඔයා වරදක් කරන්නේ නැහැ මායා.. ඔයා මට කරන්නේ ලොකුම උදව්වක්.. මේකෙන් මට අළුත්  ජීවිතයක් ලැබෙනවා.. ඔයා දාලා යන්න බැරව තැවි තැවී උන්න මට.. ඔයා වෙනුවෙන්, ඔයාලා දෙන්නාගේ සතුට වෙනුවෙන්,  අළුත් කෙනක් වෙන්න ලැබෙනවා.... සතුටින් ඉන්න.. මායා.. තව පොඩි කාලයයි.. මම ආයිමත් ඔයාගේ ලඟටම එන්න පොරාන්දු වෙනවා...”

එලෙස සැනසුම් බස් කියා ඇය අතුරුදහන් වූවාය. දිනය පුරාවට සයනයයෙන් නැගිට ගත කොහැති තරමේ කායික පීඩාවකින් මා පෙළුනෙමි. දින කිහිපයක් යන තුරුත් එම තත්වය මඟ නොහැරුනෙන්  සිදත් බොහෝ සෙයින් කලබල වී මාගේ විරෝධයද නොතකා මා වෛද්‍යවරයෙකු කරා ගෙන ගියේය.

“වැඩ්ය කල බල  වෙන්න දෙයක් නැහැ මිස්ටර් සිදත්.. ඔයා තාත්තා කෙනක් වෙන්න යන්නේ... මායාව හොඳින් බලා ගන්න.. MY congratulations!! ” වෛද්‍ය වරයාගේ වදන් හමුවේ සිදත්ගේත් මගේත් දෙනෙත් හමුවිය ඒ  තද දුඹුරු පැහැ දෙනත් ප්‍රීතියෙන් බැබලෙමින් තිබුනි. අපි දෙමාපියන් වන්නට යන්නේය. එය අපගේ කතාවේ සුන්දරම පරිච්ඡේදයක ආරම්භය වනු ඇත.  සමුගත් ඇය මේ මොහොතේ උන්නානම් අප දෙදෙනා මෙන්ම සතුටු වනු  ඇත. කුඩාකල බෝනික්කන් සමග සෙල්ලම් කරද්දී හැබැහින් මව්වරුන් වන දිනයක් ගැන අප දෙදෙනාම සිහින මැව්වෙමු. මගේ කිරි කැටියා මට අම්මා කියන විට ඇයට මමා කිවයුතු යැයි අය නීති පනවා සිටියාය.

මාතෘත්වය අපේක්ෂිත සමයේ ඇය නැති අඩුව මට බොහෝ සෙයින් දැනුනි. නිරතුරුව මනසින් යමෙකු හා කතාකර පුරුදු වූ මට මෙම නවමු අත්දෑකීම බෙදා හදා ගැන්මට කිසිවෙකු නොවීම සැබැවින්ම වේදනාවක් විය. ඉඳින් නිතැනින්ම මාගේ කස තුල වූ කලලය හා දොඩන්නට මා උත්සහ කලෙමි. එහෙත් ඇය තරම් දොඩමලු වන්නට කුඩා කලලයට හැකියාවක් නොවීය.

කලලය කුඩා ප්‍රාණියෙකු ලෙස  කල එලි දක්නා මොහොත ඉතාමත් වේදනාකාරී වුවත් සිදත් මා අසලින් නොසෙල්වීම මා  ලැබූ අපරිමිත ශක්තියක් විය. අර්ධ සිහිමුර්ජාවෙන් ගතකල කාලය තුල නෑඹුල් කිරිකැටියා මවෙතින් කිරි උරාබොනු සියුම් වේදනාවක් ලෙසත්, සිදත්ගේ දිඟු අතැඟිලි නළල් තලය පිරිමඳින පහස ආදරණිය සිප ගැන්මක් ලෙසත් දැනුණි. එම දීර්ඝ නින්දෙන් මා අවදි වන විට මාගේ දෙමාපියන් මෙන්ම සිදත්ගේ නෑදැයන් බොහෝ දෙනක් මාත් කිරිකැටියාත් වට කොටගෙන උන්හ. ඔවුන්ගේ අවදානය මට වඩා යොමුව තිබුනේ ඇඳ පාමුල තොටිල්ලේ සුව නින්දක උන් බිළිඳා දෙසටය. මටත් ඔහු හෝ ඇය දැකීමේ උමතු ආශාවක් ඇතිවිය. අපහසුවෙන්  කොන්ද කෙලින් කරන්නට උත්සහ කරද්දී සිදත් මා වාරු කර ගත්තේය...

“ඔහ්!!! ... මායා.... මේ බලන්න ඔයාට ලස්සන දුවෙක් ඉපදිලා... මෙයා හරියටම... ඔයා එක්කම ඉපදිලා... අපිව දාලා ගිය ඔයාගේ නිවුන් අක්කා වගේමයි.....මට අදහගන්න බැහැ මායා.. එදා එයාව මගෙන් අරන් යද්දිත් හිටියේ මේ වගේමයි.. එකම වෙනස එයා අද ජීවතුන් අතර ඉන්නවා...”

සිඟිති දියනිය මා අතට දෙමින් මාගේ  මව විශ්මයෙන් යුතුව කැ ගැවාය....මම දියනිය තුරුලට ගෙන ඇයගේ මුහුණට එබුනෙමි... අදහාගත නොහැකි විය.. මේ උන්නේ මා සමඟ මෙතුවක් ජීවත් වු ඇයමය! 
at 11:42 PM 12 comments
Labels: පරිකල්පන
Widget by Abu-farhan
Subscribe to: Posts (Atom)

Labels

  • ගැඹුරු දිය (1)
  • පරිකල්පන (5)
  • මායාවී (2)

Blog Archive

  • ▼  2013 (1)
    • ▼  August (1)
      • මිතුරු ආදර කතාවක් (?)
  • ►  2012 (12)
    • ►  November (1)
    • ►  October (1)
    • ►  September (2)
    • ►  August (2)
    • ►  July (2)
    • ►  May (2)
    • ►  March (2)

Contributors

My Photo
Fantasm
View my complete profile
 
Copyright © මායාවී. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio